සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1616

ශලාකාව

1. නා. ශල්‍යකර්ම සඳහා ගනු ලබන තුඩක් ඇති උපකරණය ; ලොහොකූර.
2. නම් ලියන පත ; සීට්ටුව.
3. කූර ; තෙලිකූර ; ඉරටුව ; දණ්ඩ.
4. ස්ත්‍රී කේශර දණ්ඩ.
5. ගොබය ; මුදුන් කොටස.

ශව ආලාත

නා.ප්‍ර. මිනී දවන සොහොනෙහි ගිනි පෙනෙල්ල.

ශවය

නා. මළ මිනිය ; මෘත කලේබරය ; ශව ශරීරය.

ශවර

නා.ප්‍ර. අශිෂ්ට ජාතියක් ; වැදි ජන වර්ගයක්.

ශවල

නා.ප්‍ර. ශරීරයෙහි හටගන්නා කබර ; කළු, සුදු ලප ; හමේ හටගන්නා පුල්ලි.

ශවාලාතෝපමයා

[ශව + ආලාත + උපමයා]
නා. සොහොනෙහි ගිනි පෙනෙල්ලක් වැනි පුද්ගලයා ; පාපී පුද්ගලයා.

ශශ

නා.ප්‍ර. හාවා ; ශශකයා.

ශශ කලංකයා

නා. සාවාගේ කැළල ඇත්තා ; චන්ද්‍රයා.

ශශ ලාංඡනය

නා. හාවකුගේ සලකුණ.

ශශධර

නා.ප්‍ර. සාවකුගේ සලකුණ දරා සිටින්නා ; චන්ද්‍රයා.

ශශවිෂාණය

නා. හා අඟ ; සිදුවිය නොහැක්කක් බව හැඟවීම සඳහා යෙදේ.

ශශාංක

1. නා.ප්‍ර. හඳ ; චන්ද්‍රයා.
2. කපුරු.

ශශාරි

නා.ප්‍ර. හාවන්ගේ සතුරා, බකමූණා.

ශශිකර

නා.ප්‍ර. සඳරැස් ; චන්ද්‍රරශ්මිය.

ශශිප්‍රභා

1. නා.ප්‍ර. සඳරැස් ; චන්ද්‍ර කාන්තිය.
2. සුදු නෙළුම්.

ශශිප්‍රිය

නා.ප්‍ර. නිල් මහනෙල්.

ශස්ත

වි. ප්‍රශස්ත ; උතුම් , වාසනාවන්ත.

ශස්ත්‍ර වින්‍යාසය

නා. සිවු සැට කලාවලින් එකක් වන සැත් සෑදීම ; අවි සම්පාදනය ; ආයුධ සකස් කිරීම.

ශස්ත්‍ර ශාස්ත්‍ර

නා.ප්‍ර. ආයුධ ශිල්පය හා විද්‍යාව.

ශස්ත්‍ර සංවර්තය

නා. කල්පය විනාශයට පත් කරන කාල තුනෙන් එකක් ; ආයුධවලින් කපා කොටා ගැනීමෙන් වැනසෙන සංවර්තය.

ශස්ත්‍රක

නා.ප්‍ර. ශරීර අභ්‍යන්තරය ආයුධයකින් කපන්නාක් වැනි වේදනාව ගෙන දෙන වණය.

ශස්ත්‍රක්ෂතයය

නා. ආයුධයකින් ඇති වූ තුවාලය.

ශස්ත්‍රපදය

නා. ආයුධයකින් කැපූ තැන ; සැත් පහරින් ලකුණු වූ තැන.