සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1615

ශරීරසාර

නා.ප්‍ර. සිරුරින් ලබාගත යුතු යහපත් ඵලය ; ශරීර හරය.

ශරීරාභ්‍යඤ්ජනය

[ශරීර + අභ්‍යඤ්ජනය]
නා. සිරුරෙහි බෙහෙත් තෙල්, ඖෂධාලේප ආදිය ගෑම.

ශරීරාභාසය

නා. කයෙහි දීප්තිය ; දේහ කාන්තිය.

ශරීරායාසය

නා. සිරුරෙහි හටගන්නා වෙහෙස ; ශාරීරික පීඩාව.

ශරීරාරක්ෂක බළඇණිය

නා. රජතුමා රැකබලා ගන්නා වූ සේවා බළකාය ; යුද්ධ හමුදාව.

ශරීරාවර්තනය

[ශරීර + ආවර්තනය]
නා. සිරුර එක් එක් අතට හැරවීම ; කය නැමීම ; ශරීරය ඒ මේ අතට කරකැවීම.

ශරීරෝජ්වල

[ශරීර + උජ්වල]
වි. බබළන්නා වූ ශරීර ඇති ; ශරීර කාන්තිය ඇති ; දිලිසෙන.

ශරීරෝෂ්මාව

[ශරීර + උෂ්මාව]
නා. සිරුරේ පවතින උෂ්ණය ; ශරීර උෂ්ණය.

ශලකාස්ථිය

(පාරිභා.) නා. ශල්කයකට බඳු ඇටය ; අග්‍ර ගණ්ඩාස්ථිය.

ශල්ක පත්‍රය

නා. භූගත කඳන්වල සෑදෙන දුඹුරු පැහැති පොත්තක් වැනි හරිතප්‍රද රහිත කුඩා පත්‍රය.

ශල්ක පෙත්ත

නා. ඉස්සාගේ හෙවත් පෙනේයුස්ගේ ස්පර්ශක ඉන්ද්‍රියයේ කොටසක් වන බහිෂ්පාදිකය.

ශල්ක බල්බය

නා. ශල්ක පත්‍රවලින් නිෂ්පාදනය වන වැඩිපුර ආහාර තැන්පත් වන භූගත ප්‍රරෝහය.

ශල්කමය

වි. කොරපොතු වලින් සෑදුණු ; කොරලවලින් සෑදුණු.

ශල්කය

1. නා. පතුර ; කැබැල්ල ; පොත්ත ; ඛණ්ඩය.
2. පතුරු ගැලවෙන ගල් වර්ගයක්.
3. සිවිය ; පටලය ; තහඩුව.
4. කොරපොත්ත ; ශල්ක පෙත්ත ; ශල්කලය.

ශල්‍ය කර්මය

නා. වෛද්‍ය උපකරණ භාවිතයෙන් කරන ප්‍රතිකර්මය ; සැත්කම.

ශල්‍ය තන්ත්‍රය

නා. ශල්‍ය කර්මය පිළිබඳ විද්‍යාව ; ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙහි වෛද්‍ය කර්ම විධි අටෙන් එකක්.

ශල්‍ය මාර්ගය

නා. ශල්‍යයක් (උලක්) ශරීරගත වූ තැන ඇති වන ක්ෂතය ; ශල්‍යය ඇනී ඇති මඟ.

ශල්‍ය සංයුක්ත

වි. ශල්‍ය හා එක්ව යෙදුණු ; පීඩාව හා වේදනාව සමග බැඳුණු.

ශල්‍ය ස්ථාන

නා.ප්‍ර. ශරීරයක ශල්‍ය කර්ම කිරීමට සුදුසු ස්ථාන.

ශල්‍යකර්තෘ

1. නා.ප්‍ර. මිථ්‍යාදෘෂ්ටි නමැති ශල්‍ය උදුරන තැනැත්තා වන බුදුරජාණන් වහන්සේ.
2. ශල්‍ය වෛද්‍යවරයා.

ශල්‍යතන්ත්‍රඥ

වි. ශල්‍ය කර්මය උගත් ; ශල්‍ය විද්‍යාව හැදෑරු.

ශල්‍යය

1. නා. වේදනාගෙන දෙමින් සිරුරේ ඇනෙන දෙය ; උල.
2. ආහාර ගැනීමෙන් පසු ඇති වන තියුණු රුජාව.
3. ශරය ; ඊය.
4. චිත්ත පීඩාව ; ක්ලේශය.

ශල්‍යෝද්ධරණ

නා.ප්‍ර. උල් ඉගිල්ලීම ; ශරීරයෙහි ඇනුණු කටු, හී ආදිය බැහැර කිරීම.

ශල්‍යෝද්ධාර

නා.ප්‍ර. ගල්, මුල්, උල් ආදිය උගුළා දැමීම ; ගෙයක් සඳහා භූමිය ශුද්ධ කිරීම.

ශලාක තුලාව

නා. කුඩා තරාදි දණ්ඩ ; තුඩක් ඇති ශල්‍යායුධය හෙවත් ශලාකා යන්ත්‍රය.