සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1614

ශරාව

1. නා. පුරාණ මිනුම් ඒකකයක්.
2. මලාව ; තැටිය.
3. ලොකු කුප්පිය ; ප්ලාස්කුව.
4. වැසිකිළි පෝච්චිය.

ශරාවකය

(පාරිභා.) නා. තුනී කොරපොත්ත ; සිවිය ; පටලය.

ශරිරාවරණය

නා. සිරුර වසාගෙන ඇති තුනී සම ; පිට සම.

ශරීය

(පාරිභා.) වි. සත්ව ශරීරයේ ඉදිරි පාර්ශ්වයේ සිට පසුභාගය දක්වා වූ ; මධ්‍ය සිරස් ; ඊ හැඩය ඇති.

ශරීර ඇපය

නා. විත්තිකරු නියමිත දිනයේ දී පොලිසියට හෝ උසාවියට ඉදිරිපත් වන බවට පොරොන්දු පත්‍රයකට අත්සන තැබීමෙන් වන බැඳීම.

ශරීර කූඩුව

1. නා. (කූඩුවක් හා සමාන) සිරුර.
2. (කථා.) ඇටසැකිල්ල.

ශරීර කෘත්‍යය

1. නා. මලමුත්‍ර පහකිරීම.
2. ශරීරය සම්බන්ධ කටයුතු.
3. ආදාහනය.

ශරීර චේෂ්ටාව

නා. අතපය සැලීම් ආදි වශයෙන් සිදුකරන ශාරීරික ක්‍රියාව ; ඉඞ්ගිතය.

ශරීර නික්ෂේප

නා.ප්‍ර. ශරීරය ඉවතලීම ; කාලක්‍රියාව.

ශරීර පරිවර්තය

නා. ආහාර ශරීරගත වන භෞතික හා රසායනික ක්‍රියාව ; ශරීර පෝෂණ ක්‍රියාව.

ශරීර බන්ධන

නා.ප්‍ර. ශරීරයෙහි අංගෝපාංග සම්බන්ධ කෙරෙන සන්ධි.

ශරීර බිත්තිය

නා. ශරීර පටලය ; ශරීර කවචය.

ශරීර භේදය

1. නා. මරණය ; කායභේදය.
2. ශරීර අංගවල කැඩීම හෝ බිඳීම.
3. ජ්වර රෝගයෙන් හටගන්නා උපද්‍රව දසයෙන් එකක්.

ශරීර විද්‍යාව

නා. ශරීරයේ අවයව පිළිබඳ විස්තර උගන්වන ශාස්ත්‍රය.

ශරීර ශුද්ධිය

1. නා. භාවනා මඟින් ශරීරය කෙලෙස් මලින් පිරිසිදු කිරීම.
2. ඖෂධ මගින් සිරුර පිරිසිදු කිරීම ; විරේක කිරීම.

ශරීර ශෝභාව

නා. සිරුරෙහි බැබළීම ; කයෙහි දීප්තිය.

ශරීරක්ෂමය

නා. වැඩෙහි නිරතවීමට පවත්නා ශරීර ශක්‍යතාව ; ශාරීරික හැකියාව.

ශරීරදරථය

නා. ශරීරයේ ඇති වන විඩාව ; කායික පීඩාව.

ශරීරප්‍රභාව

නා. සිරුරු පැහැය ; ශරීර වර්ණය.

ශරීරභාවය

නා. ශරීරාකාරය ; දේහ විලාසය.

ශරීරභූත

වි. කයින් හටගත් ; සිරුරින් උපන්.

ශරීරය

1. නා. පංචස්කන්ධය ; කය ; සිරුර ; ඇඟ.
2. කාරණය ; මාතෘකාව.
3. කලේබරය ; මෘතදේහය.

ශරීරයාපනය

නා. සිරුර යැපීම ; ශරීරය පවත්වා ගැනීම ; ශරීර රක්ෂණය.

ශරීරවලඤ්ජනය

නා. ශරීරයෙන් පිටකරන ලද්ද ; මලමූත්‍ර ; අශූචි.