සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1613

ශරදා

නා.ප්‍ර. සරත් සෘතුව.

ශරදාකාශ

[ශරද් + ආකාශ]
නා.ප්‍ර. සරත් කාලයෙහි පැහැදිලි ආකාශය.

ශරධාරාව

නා. ඊය ; ඊතලය.

ශරපරුෂ

වි. නපුරු ; චණ්ඩ ; ක්‍රෑර.

ශරපස

නා. අනංගයාගේ හෙවත් කාමදේවයාගේ ඊතල පහ.

ශරප්‍රහාරය

නා. ඊයෙන් පහර දීම ; ඊ පහර.

ශරපාතය

නා. ඊ හෙළීම ; ඊයෙන් පහරදීම.

ශරපුඞ්ඛය

1. නා. ඊයෙහි පසු කොන ; දුනුදියට අමුණන තැන ; පගිලිය ; ඊදැත්ත.
2. ඊ ගසේ බැඳි පිහාටුව.

ශරභ

නා.ප්‍ර. හිමාලය ප්‍රදේශයෙහි වසන මුව වර්ගයක්.

ශරමය

වි. ඊතලවලින්ම සෑදු ; ඊමුවා.

ශරය

නා. ඊය ; ඊතලය.

ශරයටිය

නා. සැරයටිය ; හැරමිටිය.

ශරරජ්ජු

නා.ප්‍ර. රැහැන ; රැහැනක් මෙන් සිටින සේ විදින ලද ඊ පෙළ.

ශරවන

නා.ප්‍ර. බටගස්වලින් ගහන වූ ප්‍රදේශය ; බටකැලෑව.

ශරවේණි

නා.ප්‍ර. ගොතන ලද හිසකෙස් වැටියක් වන සේ ඊතලවලින් විදීම ; විදීමෙන් පෙනෙන්ට සැලැස්වූ වෙණිය.

ශරවේධය

නා. ඊයෙන් ඊයට විදීමේ ධනුශිල්ප ක්‍රමය.

ශර්කර

වි. සිහින් වැලි මෙන් වූ ; අශ්මරිය.

ශර්කරා

1. නා.ප්‍ර. මිදී කැටිගැසුණු පැණි ; සකුරු ; සීනි ; සක්කරා.
2. හකුරු කැබැල්ල.
3. බොරලු ; සිහින් ගල් කැට.
4. මූත්‍රවල සිහින් වැලි මෙන් කැට ඇතිවන රෝග විශේෂයක්.

ශර්කරා අණුව

නා. කාබන්ඩයොක්සයිඩ් අණු හයක් හා ජලය අණු දොළහක් සංයෝජනයෙන් ඇති වන අණුව.

ශර්කරා උපාදාන

නා.ප්‍ර. සීනි දැඩි ලෙස උරා ගැනීම ; ශර්කරා බාහුල්‍යය.

ශර්කරාමිතිය

නා. අඩංගු සීනි ප්‍රමාණයේ ප්‍රමිතිය.

ශර්ම

නා.ප්‍ර. බ්‍රාහ්මණ වංශිකයන්ගේ නාමය අගට යෙදෙන ගෞරව පදයක්.

ශරාභ

(පාරිභා.) වි. ඊතලයක හැඩය ඇති ; ශරාකාර.

ශරාභිඝාතය

[ශර + අභිඝාතය]
නා. ඊ පහර වැදීම ; ශර ගැටීම.