සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1746

සව්විනෙයා

නා.ප්‍ර. බුදුවරයකු විසින් හික්මවනු ලැබිය යුතු ශ්‍රාවකයා.

සව්සජ

වි. සියලු ආකාරයෙන් සැදුණු ; සර්වප්‍රකාරයෙන් සැරසුණු.

සව්සත

1. නා. සියලු සත්ත්වයා ; සකල ප්‍රජාව.
2. සියලු ශාස්ත්‍රය.

සව්සත්දම් වාදය

නා. දහනව වැනි සියවසේ සිදු වූ ශාස්ත්‍රීය වාදයක් ; තෝමස් මුහන්දිරම් ලියූ 'ගංගාරෝහණ වර්ණනාවේ’ සිව් වැනි පද්‍යයේ මුල් පාදයේ මාත්‍රාව යෙදුම පිළිබඳ ව ඇති වූ වාදය.

සව්සරණ

නා.ප්‍ර. සියලු පිහිට ; හව්හරණ.

සව්සාර

වි. සියල්ලෙන් සරු වූ ; සරුසාර.

සව්සිරි

නා.ප්‍ර. සකල ශ්‍රීය ; සියලු සම්පත ; සකල ඓශ්වර්යය.

සව්‍යග්‍රහණය

නා. සූර්යග්‍රහණයේ දී හෝ චන්ද්‍ර ග්‍රහණයේ දී රාහු දකුණු දෙස සිටීම.

සව්‍යඤ්ජන

වි. ව්‍යඤ්ජනාක්ෂර සහිත ; මනා අකුරු ඇති.

සවායුක

(පාරිභා.) වි. වායු සහිත ; වායුව සමග.

සවායුකයා

(පාරිභා.) නා. ඔක්සිජන් වායුව උපයෝගි කරගෙන ජීවත්වන ජනකයා.

සවාරිය

1. නා. ගමන.
2. විනෝද ගමන.

සවාසනා

වි. සසර පුරුද්ද ඇති ; වාසනා ගුණ සහිත.

සවැනිය

නා. සර්වඥයන් වහන්සේ ; බුදුන් වහන්සේ.

සවි

වි. තද ; ශක්තිමත් ; හැකියා සහිත.

සවි කරනවා

ක්‍රි. ශක්තිමත් කරනවා ; හයි කරනවා.

සවි ගන්වනවා

ක්‍රි. ශක්තිමත් කරවනවා ; බලය හෝ ශක්තිය වැඩි කරනවා.

සවිඥානක

වි. සිතීමේ ශක්තිය ඇති ; හිතා මතා බැලීමේ ශක්තිය සහිත ; විඥානය සහිත.

සවිතා

1. නා.ප්‍ර. සූර්යයා.
2. සොළොස් ශුභ මුහුර්තයන්ගෙන් එකක්.

සවිද්දුමා

වි. ශ්‍රාවය සහිත ; සොටුදිය වැගිරිම් ඇති.

සවිදු

වි. විදුලිය සහිත ; විද්‍යුල්ලතා ඇති.

සවිධිපරාවර්තනය

(පාරිභා.) නා. පෘෂ්ටයක් මතට සමාන්තර ආලෝක කදම්බයක් පතනය වූ විට, එයට අයත් කිරණ සියල්ලම එකම දිශාවකට පරාවර්තනය වීම.

සවින්ධවයා

නා. සින්දු දේශයේ උපන් අශ්වයා ; සෛන්ධව කුලයේ උපන් අශ්වයා.

සවිඳලුණු

නා.ප්‍ර. ඖෂධයක් වශයෙන් ගන්නා ලුණු වර්ගයක් ; සහිඳ ලුණු ; සජල සෝඩියම් සල්පේට්.