සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 197

අස්ථි කෝණය

(පාරිභා.) නා. අස්ථියක් වෙනත් අස්ථියක් හා සම්බන්ධ වන රවුම් වූ කොණ (=condyle).

අස්ථි ධාතුව

නා. ඇට සාරව; ඇටමිදුලු.

අස්ථි පඤ්ජරය

නා. ඇටසැකිල්ල; අස්ථිපුඤ්ජය.

අස්ථි පටලය

නා. ශරීරාස්ථි වසා සිටින ඝන පටලය; ඇටසිවිය; අස්ථි ආවරණය.

අස්ථි පරික්ෂය

නා.ප්‍ර. ඇටයක දිරායෑම.

අස්ථි බන්ධනය

නා. ශරීරාස්ථි එකට බැඳ තබන පටක විශේෂය; බන්ධනිය.

අස්ථි භවනය

(පාරිභා.) නා. අස්ථිවල නිර්මාණය; ඇටකටු සෑදීම (=ossification).

අස්ථි විද්‍යාව

නා. ශරීරාස්ථි පිළිබඳ ශාස්ත්‍රය; ශරීරයේ ඇටකටු පිළිබඳ විද්‍යාව.

අස්ථි සඞ්කලිකාව

නා. ඇට සැකිල්ල.

අස්ථිකය

1. නා. ඇටය.
2. නා. භාවනාවට අරමුණු කරගනු ලබන දශ අශුභ අතරින් එකක් වන ඇටසැකිල්ල.

අස්ථිමජ්ජා

නා.ප්‍ර. ඇටමිදුලු.

අස්ථිය

නා. පෘෂ්ඨවංශීය සත්ත්වයන්ගේ ඇටසැකිල්ල සෑදී ඇති එක් එක් විශේෂ කොටස; ඇටය.

අස්ථිර

වි. ස්ථිර නොවූ; අනිත්‍ය; අවිනිශ්චිත.

අස්ථිසඞ්ඝාත

නා.ප්‍ර. අස්ථි සමූහය; ඇට රාශිය; ඇටසැකිල්ල.

අස්ථිසන්ථි විච්ඡේදය

නා. ශරීරස්ථ සන්ධි වෙන් කිරීම; සන්ධි කපා දැමීම.

අස්ථිසාරය

1. නා. ඇටසාරය; ඇටමිදුලු.
2. නා. ඇටවලින් හෙවත් මස් කටුවලින් සාදනු ලබන සාරය හෙවත් සුප්.

අස්දම

නා. අස්හලේ දී අසුන් බඳින රැහැන හෝ දම්වැල.

අස්නිග්ධ

වි. සිනිඳු බවින් තොර; රූක්ෂ; රළු.

අස්පරස් කරනවා

ක්‍රි. අස් කරනවා.

අස්පෂ්ට

වි. පැහැදිලි නොවන; නොපැහැදිලි.

අස්පෘශ්‍ය

වි. ස්පර්ශ නොකළ යුතු; නොඇල්ලිය යුතු.

අස්පෘෂ්ට

වි. ස්පර්ශ නොකරන ලද; නොගැටුණු; එකිනෙකට නොගාවන ලද.

අස්ඵටික

(පාරිභා.) වි. ස්ඵටිකරූපී නොවූ; නියම හැඩයක් නැති (=amorphous).

අස්ඵුට

වි. ස්ඵුට නොවූ; ප්‍රකට නොවූ.