සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 249

ඇවැසි

වි. අවශ්‍ය වූ; උවමනා.

ඇවැසියාව

(පාරිභා.) නා. අවශ්‍යතාව; උවමනාව (=necessity).

ඇවෑමෙන්

ක්‍රි.වි. පසුවීමෙන්; ගතවීමෙන්; අභාවයෙන්; මරණයෙන් පසු.

ඇවිටි කරනවා

ක්‍රි. ලෝභ කරනවා; මහත් සේ ආශා කරනවා; බලාපොරොත්තු වෙනවා.

ඇවිටි ගන්නවා

1. ක්‍රි. ලෝභ උපදවනවා; ආශා කරනවා; කැමැත්තක් ඇති කර ගන්නවා.
2. ක්‍රි. ඉල්ලා සිටිනවා; ආයාචනා කරනවා.

ඇවිටිය

1. නා. ලොල් බව; තද ඇල්ම; මහත් ආශාව.
2. බලවත් ඉල්ලීම; ඇවිටිල්ල.

ඇවිටිලි කරනවා

ක්‍රි. බැගෑපත් සේ ඉල්ලනවා; ඉතා ඕනෑකමින් ඉල්ලනවා.

ඇවිටිලිය

නා. නැවත නැවත හෝ ඉතා ඕනෑකමින් හෝ ඉල්ලා සිටීම; පෙරැත්තය.

ඇවිදු

1. නා.ප්‍ර. අවිද්‍යාව.
2. නා.ප්‍ර. අවීචි මහා නරකය.

ඇවිදු මඬල

නා. අවීචි මහ නරකයට අයත් ප්‍රදේශය.

ඇවිරිද්ද

නා. අවුරුද්ද.

ඇවිල්ල

1. නා. පන්, තල්කොළ ආදියෙන් වියන ලද පෙට්ටිය.
2. නා. පන්කොළ ආදියෙන් වියන ලද වට්ටිය.

ඇවිස්සුම

(පාරිභා.) නා. උනන්දු කරවීම; අවදි කරවීම (=arousal).

ඇවිසිනවා

1. ක්‍රි. පිළිගන්නවා; බෙදනවා; දමනවා.
2. ක්‍රි. අවසර ගන්නවා; සමුගන්නවා.

ඇවිසියාව

(පාරිභා.) නා. පිළිගත හැකි බව (=admissibility).

ඇවිළි ආහාරය

නා. අවුළා ගන්නා ලද හෝ එකතු කර ගන්නා ලද හෝ ආහාරය.

ඇවිළිල්ල

1. නා. දැල්වීම; ඇවිළීම.
2. නා. පිට, තුනටිය, ඉල ඇට, දෙඇල ආදි තැන්හි හදිසියේ ඇති වන තියුණු වාත වේදනාව.

ඇවිළිලි අහර

නා. ගෙයින් ගෙයට පිඬු සිඟා එකතු කරගත් ආහාරය; පිණ්ඩපාත ආහාරය.

ඇවුරුණු ගිණුම

(පාරිභා.) නා. වත්කම් හෝ ගනුදෙනු කටයුතු තාවකාලික ව හෝ ස්ථිරව තහනම් කළ බැංකු ගිණුම (=frozen account)

ඇවුරුම් බදාම

(පාරිභා.) නා. මූට්ටු ආදිය සඳහා යොදා ගනු ලබන විශේෂ සිමෙන්ති වර්ගයකින් සාදාගනු ලබන බදාම (=lutes).

ඇවුළුම් බිළය

නා. ලොකු මසුන් අවුළුවා ඔරුවක් තුළට ඇද ගැනීමට පාවිච්චි කරනු ලබන ලොකු බිළී කොක්ක.

ඇවෙක්සුම

(පාරිභා.) නා. බලාපොරොත්තුව; අපේක්ෂාව (=expectation).

ඇස

1. නා. නෙත; දෘෂ්ටි ඉන්ද්‍රිය; දර්ශනේන්ද්‍රිය.
2. නා. බෙර ආදියෙහි මුහුණ; බෙරතලය.
3. නා. බීජාංකුරය; මොටෙයියා.
4. නා. විවරය; දැල් ඇස නොහොත් සිදුර.
5. නා. කඳුළ.
6. නා. අංසය; පැත්ත.

ඇස ඇඳිරිය

නා. පෙනීම අඩු කරන ඇස් රෝගය.