සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 250

ඇස කණ්ඩුතිය

නා. ඇස කැසීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය.

ඇස ගැසෙනවා

ක්‍රි. කෙනකුගේ ඇසට ලක් වෙනවා; යමකු විසින් දකිනු ලබනවා; දකිනවා.

ඇස දල්වනවා

ක්‍රි. ඇස් අරිනවා හෙවත් විවෘත කරනවා.

ඇස පියවෙනවා

1. ක්‍රි. නිදිමත වේගෙන එනවා; නින්ද යනවා.
2. ක්‍රි. මැරෙනවා; මිය යනවා.

ඇස පිරුවනවා

ක්‍රි. (ඖෂධ වතුර ආදියෙන්) ඇස තෙමනවා.

ඇස පූපය

නා. ඇසෙහි ශුක්ල භාගයෙහි හටගන්නා කුඩා මස්රෝද; පිෂ්ටකය.

ඇස බමනවා

ක්‍රි. ඇස කරකවනවා.

ඇස ලකළා

නා.ප්‍ර. ඊශ්වර දෙවියා.

ඇස වෙනවා

ක්‍රි. වඳ බවට පත් වනවා; පැළ වීමේ ශක්තිය නැති වෙනවා; ඇහැ වෙනවා.

ඇසටේට්

(පාරිභා.) නා.ප්‍ර. එනම් අම්ල මූලකය (=acetate).

ඇසතු

1. නා.ප්‍ර. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවණ දුන් වෘක්ෂය; (ඇසතු) බෝගස.
2. නා.ප්‍ර. එනම් එළනුග හෙවත් ඇසටු ගස.

ඇසදාය

නා. ඇසෙහි ඇති වන දාහය හෙවත් දැවිල්ල.

ඇසදිය

නා. කඳුළු.

ඇසපොළ

නා. ඇසේ කාචයෙහි පාරදෘශ්‍යතාව හීන වීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගයක්.

ඇසමල

නා. ස්වච්ඡ මණ්ඩලයෙහි සුදු ලපයක් හට ගැනීම ලක්ෂණ කොට ගත් ඇස් රෝගයක්.

ඇසරුජාව

නා. වේදනාව සහ කඳුළු, කබ ආදිය ගැලීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; නේත්‍රාභිෂ්‍යන්දය.

ඇසවනවා

ක්‍රි. වසනවා හෙවත් හිර කරනවා.

ඇසළ

නා.ප්‍ර. එනම් චන්ද්‍ර මාසය; ජූනි මැද භාගයේ සිට ජූලි මැද භාගය තෙක් කාලය.

ඇසළ කෙළිය

නා. පුරාණ ජම්බුද්වීපයෙහි ඇසළ මස පුන් පොහෝදින ආරම්භ කරන ලදුව දින කීපයක් තිස්සේ පවත්වනු ලැබූ මහෝත්සවයක්.

ඇසළ පෙරහර

නා. දළදා වහන්සේ පිදීම සඳහාත්, නාථ, විෂ්ණු ස්කන්ධ ආදි දෙවිවරුන් පිදීම සඳහාත් අවුරුදු පතා ඇසළ මාසයෙහි දින ගණනක් තුළ මහනුවර හෝ වෙනත් ප්‍රදේශවල හෝ පවත්වනු ලබන පෙරහර.

ඇස්

1. වි. අවහිරවූ; වැසුණු.
2. වි. පැළවීමේ ශක්තිය වඳ බවට පත් වූ; ඈහැ වූ.
1. නා.ප්‍ර. අන්ධයා.
2. නා.ප්‍ර. ආලෝක ධාරාව; ආලෝකය.

ඇස් ඇඳ

නා. ලණුවෙන් හෝ වේවැලින් ඇස් රටාව ඇති වන අයුරින් වියන ලද ඇඳ.

ඇස් ඇඳිරිය

නා. ඇස ඇඳිරිය.

ඇස් උඩ ඉන්දනවා

ක්‍රි. බියපත් වෙනවා; විස්මයට පත්වෙනවා.