සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 251
ඇස් උත්ත
නා. ඇස් ඇති පොල්කටුව; ගෑනු පොල්කටුව.
ඇස් කන්නාඩිය
නා. ඇසෙහි පලඳින කාච දෙකක් සහිත උපකරණය; උපැස් යුවළ.
ඇස් කුලිය
1. නා. නැති වූ දේ සොයා දීම සඳහා ගෙවනු ලබන තෑග්ග; කොටස.
2. නා. යම් තොරතුරක් දැනුම් දෙන්නාට දෙනු ලබන කොටස හෝ තෑග්ග.
ඇස් කුහරය
නා. ඇසෙහි අභ්‍යන්තර කොටස් පිහිටා ඇති ඇස් වළ.
ඇස් කෙවෙණිය
නා. ඇස් ගුළිය රඳා ඇති කුහරය; අක්ෂි කූපය.
ඇස් කොටහ
නා. මැණික් වෙන්දේසියේ දී වෙන්දේසි කරන ලද මැණික් ගල් මිලදී ගැනීමට ඉදිරිපත් වන අයට තෑගි වශයෙන් දෙන මුදල්.
ඇස් කොළය
(කථා.) නා. බුලත් අතක උඩට හෝ අඩියට තබන ලොකු බුලත් කොළය.
ඇස් ටිඟිනිය
නා. ඇසේ තරුව; කනීනිකාව; තාරාමණ්ඩලය; කළු ඉංගිරියාව.
ඇස් දිෂ්ටිය
1. නා. ඇස් පෙනීමේ ශක්තිය.
2. (කථා.) නා. ඇසට පෙනෙන දුර ප්‍රමාණය; චක්ෂුපථය.
ඇස් නඟනවා
ක්‍රි. ඇස් අරිනවා; ඇස් විවෘත කරනවා.
ඇස් පටලය
1. නා. ඇස (මැද) වසා සිටින සිවිය.
2. නා. කාචය නම් වූ ඇස් රෝගය.
ඇස් පහරනවා
ක්‍රි. ඇසිපිය ගසනවා.
ඇස් පැහැර ගන්නවා
ක්‍රි. ඇස් ඇද ගන්නවා.
ඇස් පෑදීම
1. නා. නොපෙනී පැවතුණු ඇස් පෙනෙන්ට සැලැස්වීම.
2. නා. අකුරු ලියන්නට කියන්ට සමත්වීම හෝ සමත් කිරීම.
3. නා. අවබෝධ නොවී පැවති කරුණක් අවබෝධ වීම හෝ අවබෝධ වීමට සැලැස්වීම.
ඇස් බැන්දුම
නා. මායාව; ඉන්ද්‍රජාලය; විජ්ජාව.
ඇස් බැන්දුම්කාරයා
නා. මායාකාරයා; විජ්ජාකාරයා; ඉන්ද්‍රජාලිකයා.
ඇස් මට්ටම
නා. ඇස පිහිටා ඇති මට්ටම; ඇස හා සමතලය.
ඇස් මඩ
නා. ඇසින් ගලන මල; කබ.
ඇස් මරනවා
ක්‍රි. ඇසිපිය ගහනවා; ඉඟි පිණිස ඇස් පිල්ලන් ගහනවා.
ඇස් මල
නා. ඇසින් ගලන කබ; ඇස් මඩ.
ඇස් මානය
(කථා.) නා. ඇසට පෙනෙන දුර ප්‍රමාණය; පේන තෙක්මානය.
ඇස් මාරියාව
(කථා.) නා. වේදනාව සහ කබ, කඳුළු ආදිය ගැලීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; නේත්‍රාභිෂ්‍යන්දය; ඇස්රුදාව.
ඇස් මිදුල
නා. ඇස් ඉදිරිය; ඇස් හමුව.
ඇස් මුවාව
(පාරිභා.) නා. තද දීප්තිය; දූවිලි ආදියෙන් ඇස් ආරක්ෂා වීමට පලඳින ඇස් කන්නාඩි විශේෂයක් (=goggles).