සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 252

ඇස් රතය

නා. ඇස් රතුපාට වීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය.

ඇස් රැවටිල්ල

නා. වංචාව; මායාව; කපටිකම.

ඇස් ලෙන්සය

(පාරිභා.) නා. අන්වීක්ෂය වැනි උපකරණයක පරීක්ෂකයාගේ ඇසට සමීපව තිබෙන කාචය; අක්ෂිකාචය (=eye lens).

ඇස් ලොඩිය

නා. ඇස්ගුළි ඉදිරියට නෙරා සිටීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; උදක්ෂිය.

ඇස් වට්ටිය

නා. ඇස් හෙවත් සිදුරු සහිත වට්ටිය.

ඇස් වර

1. නා. මොහොත; ක්ෂණය.
2. නා. ඇස් ඉදිරිය; අභිමුඛය.

ඇස් සමුව

නා. ඇස් ඉදිරිය; චක්ෂුපථය; අභිමුඛය.

ඇස් හයනවා

ක්‍රි. ඇස් අරිනවා; ඇස් විවෘත කරනවා.

ඇස් හසර

නා. ඇස් සෙලවීම; ඇස් චලනය.

ඇස්කඩ

නා.ප්‍ර. රෙදි කැබැල්ල.

ඇස්කිමෝ

නා.ප්‍ර. උතුරු ඇමෙරිකාවෙහි සහ සයිබීරියාවේ පළාත්වල වසන මිනිස් වර්ගයක්.

ඇස්කීසි ආඥාව

නා. ඇස්කීසියක් කිරීම සඳහා උසාවියෙන් කරනු ලබන නියෝගය.

ඇස්කීසි නිකුත් කරනවා

(පාරිභා.) ක්‍රි. ගෙවීමක් පැහැර හැරීමේ දී ණයකරුවකුගේ චංචල හෝ නිශ්චල දේපොළ අල්ලන බවට හෝ තහනම් කරන බවට නියෝග නිකුත් කරනවා (=issue execution).

ඇස්කීසිය

(පාරිභා.) නා. උසාවියෙන් නියම කරන ලද ගෙවීමක් පැහැර හැරීමේ දී එය නීතියෙන් ඉටු කරවා ගැනීම; ණයගැතියාගේ ඉඩම් ආදිය අල්ලා ගැනීම, විකිණීම පිණිස උසාවියෙන් නිකුත් කරන බලය (=execution).

ඇස්කෝබික් අම්ලය

නා. අලුත් පලතුරුවලත් එළවළුවලත් දක්නට ලැබෙන සී විටමිනය (=ascorbic acid).

ඇස්ගුව

නා. කබ; ඇස්මල; ඇසින් වැගිරෙන අපිරිසිදු දෑ.

ඇස්ගුළ

නා. ඇසෙහි ගෝලයක් වැනි කොටස; අක්ෂි ගෝලය; ඇස්ගෝලය

ඇස්ගෝලය

නා. ඇස් ගුළිය; අක්ෂි ගෝලය.

ඇස්ඩිකිය

(පාරිභා.) නා. සබ්මැරීනයකින් පරාවර්තනය වන අතිධ්වනික තරංග පිහිටෙන් සබ්මැරීනයක් සොයා ගැනීමටත් පිහිටි තැන දැනගැනීමටත් හැකි උපකරණය (=asdic).

ඇස්තමේන්තුව

(පාරිභා.) නා. යමක වටිනාකම ප්‍රමාණ කිරීම; යම් කිසිවක් සඳහා යන වියදම ප්‍රමාණ කිරීම හෝ එසේ ප්‍රමාණ කොට සාදන ලේඛනය; මූල්‍ය නිර්ණය; තක්සේරුව.

ඇස්දර

නා.ප්‍ර. කඳුළු ධාරාව; අශ්‍රැ ධාරාව; කඳුළු.

ඇස්දහස්

නා.ප්‍ර. දහසක් ඇස් ඇත්තා; ශක්‍රයා.

ඇස්දැල්

නා.ප්‍ර. ශක්‍රයා.

ඇස්පනාපිට

ක්‍රි.වි. ඇස් ඉදිරියේ; ප්‍රත්‍යක්ෂ වශයෙන්.