සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 285

ඊඋරය

නා. ඊතල දමන කොපුව නොහොත් උරය; හියවුර.

ඊක්ෂණය

නා. බැලීම; බැල්ම.

ඊකොපුව

නා. හී කොපුව; ඉයොර.

ඊගහ

1. නා. ඊය; ශරය.
2. නා. තොවිල්වල දී යකැදුරන් විසින් භාවිතයට ගන්නා යකඩ කැබැල්ලක ගසාගත් වේවැලක් වැනි කෝටුව.

ඊඝ

නා.ප්‍ර. උපද්‍රවය; උවදුර.

ඊචපළම්

(කථා.) නා.ප්‍ර. රටඉඳි.

ඊටිය

1. නා. දමා අනින හෝ දමා ගසන ආයුධයක්; හෙල්ල; තෝමරය; ලංසය.
2. නා. හෙණ්ඩුව.

ඊතණ

නා. බහු වාර්ෂික තෘණ වර්ගයක්; තණ පස් මුල්වලින් එකක්; ලද පස්මල්වලින් එකක්.

ඊතයිල් මද්‍යසාරය

නා. සීනි ද්‍රාවණ පැසවීමෙන් සාදා ගන්නා මද්‍යසාරය.

ඊතර

නා. පදාර්ථ ඇති හෝ නැති වර්ණ රහිත සැහැල්ලු ද්‍රවයක්.

ඊතලය

නා. ඊය; හීය; ශරය.

ඊති

1. නා.ප්‍ර. උපද්‍රවය; ව්‍යසනය.
2. නා.ප්‍ර. සවැදෑරුම් සස්‍ය උපද්‍රව; තද වැසි, නියං, පළඟැටි, මී, ගිරා, සහ පරසතුරු ආක්‍රමණ යන සයයි.

ඊතේන්

(පාරිභා.) නා.ප්‍ර. ගඳක් හෝ පාටක් හෝ නැති වායුවක් (=ethane).

ඊදණ්ඩ

නා. ඊයෙහි කඳ; ඊය.

ඊදිස

වි. මෙවැනි; මෙබඳු.

ඊදෘශ

වි. මෙබඳු.

ඊදොලුව

නා. දෝලා විශේෂයක්.

ඊන

වි. හීන; පහත්; නීච; අධම.

ඊනයා

නා. නීචයා; අධමයා.

ඊනියා

1. වි. ඒ හා සමාන; එවැනි; එබඳු; එවැනි ගුණාදියෙන් යුක්ත.
2. වි. මවා පෑමෙන් යුක්ත; ව්‍යාජ.

ඊප්සාව

නා. ලබා ගනු කැමැත්ත; ඉච්ඡාව; ආශාව.

ඊප්සිත

වි. ආශා කරන ලද; කැමති වන ලද; ප්‍රාර්ථිත.

ඊප්සිත කර්මය

නා. (ව්‍යාක.) කර්තෘ විසින් ආශා කරන ලද ක්‍රියාවක් හා යෙදුණු කර්මය.

ඊප්සිතය

නා. කැමති වූ දෙය; ප්‍රාර්ථිතය.