සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 346

ඌන සේවා නියුක්තිය

නා. සේවකයින් සියලු දෙනා ම සේවයේ නියුක්තව සිටියත් හැම දෙනාගෙන් ම නිෂ්පාදනයට නිසි ප්‍රමාණයේ සේවයක් නොවීම.

ඌනමාන

(කථා.) නා.ප්‍ර. අඩුපාඩු; වැරදි.

ඌනමාන කථාව

නා. (ක්‍රිස්ති.) හස්තමුද්‍රාදි උපක්‍රමවලින් කරන ප්‍රකාශනය.

ඌනවිංසති

වි. (වයසින්) විස්ස නොපිරුණු.

ඌනාතිරික්ත

වි. අඩු හා වැඩි වූ.

ඌනාධික

වි. අඩුවැඩි.

ඌමයා

නා. කථා කළ නොහැකි තැනැත්තා; ගොළුවා.

ඌමි

නා.ප්‍ර. රළ; තරංග.

ඌමිටිය

1. නා. (සතුන් ආදින්) පහත් ස්වරයෙන් කරන ශබ්දය; කෙඳිරිය.
2. නා. ‘හූම්, එහෙයි’ යනුවෙන් දෙන ප්‍රතිවචනය; හූමිටිය.

ඌමිභය

නා.ප්‍ර. (මුහුදු) රළ නිසා ජල යාත්‍රාවල ගමන් කරන්නන්ට ඇති වන බිය.

ඌමියාව

නා. දියසුළිය.

ඌර ගන්නවා

ක්‍රි. ඇදගන්නවා; පිටතට ගන්නවා; උපුටා ගන්නවා.

ඌර ළිඳ

1. නා. ඌරා කැට නම් මැටි හෝ දැව වළලු හෝ ගිල්වා තැනූ ළිඳ.
2. නා. ඉතා ගැඹුරු ළිඳ.

ඌරකැටය

නා. ඉවුරු කඩා වැටීම වැළැක්වීම සඳහා ළිං පතුලේ සිට බස්සවන මැටි වළල්ල.

ඌරනවා

ක්‍රි. කලඹනවා; ගොහොදු කරනවා.

ඌරල් වෙනවා

ක්‍රි. මස් ආදිය (මඳ වශයෙන්) කුණු වෙනවා; නරක් වෙනවා.

ඌරලේ

(කථා.) නා. සහජගතිය; ස්වභාවය.

ඌර්ජස්වි

නා.ප්‍ර. ජනිත වූ අහංකාරය හඟවන අලංකාරය.

ඌර්ජාව

(පාරිභා.) නා. ශක්තිය; බලය (=energy).

ඌර්ණ

1. නා.ප්‍ර. එළු, බැටළු ආදින්ගේ ලොම්.
2. නා.ප්‍ර. ඌර්ණරෝමය.

ඌර්ණ නාළිකාව

1. (පාරිභා.) නා. ශරීරයෙහි නාඩි කෙළවරවල් හා ශිරාමුල් එක් කරන සිහින් කේශ නාළිකාව.
2. පැළෑටියක මුලෙහි වැඩෙන සියුම් කේශර; මූලිකා කේශර (=capillary).

ඌර්ණ මණ්ඩලය

නා. මණ්ඩලාකාර වූ ඌර්ණරෝම ධාතුව; නළල මැද පිහිටි රෝමය.

ඌර්ණ රෝම ධාතුව

නා. බුදුරදුන්ගේ නළලෙහි දෙබැම මැද පිහිටි දකුණට කරකැවුණු මණ්ඩලාකාර රෝමය.

ඌර්ණ වස්ත්‍රය

නා. (එළු හෝ බැටළු) ලෝමයෙන් කළ වස්ත්‍ර විශේෂය.