සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1313

රජනුවර

නා.ප්‍ර. රජ වසන නගරය ; අගනුවර ; රාජධානිය.

රජපහ

නා.ප්‍ර. රජ මාළිගය ; රජ මැඳුර.

රජපා

නා.ප්‍ර. රජතුමා ; රාජෝත්තමයා.

රජපාර

නා. මහා මාර්ගය ; ප්‍රධාන මාර්ගය.

රජබරණ

නා.ප්‍ර. රජුන්ට අයත් පලඳනා ; රජුන් පලඳින ආභරණ ; රාජකීය ආභරණ.

රජමහ විහාරය

නා. රාජ අනුග්‍රහය ලද විහාරය.

රජමහසල් කුලය

නා. රාජ කුලය ; ධන සම්පත් ආදියෙන් ආඪ්‍ය රාජවංශය.

රජමැදුර

නා. රජු වාසය කරන මන්දිරය ; රජමාළිගය.

රජය

1. නා. රජකුගේ පාලනයට යටත් ප්‍රදේශය ; රාජධානිය ; රාජ්‍යය.
2. රජකම ; රජ තනතුර ; රාජ පදවිය.
3. රටක පාලන සංවිධානය ; ආණ්ඩුව.

රජය විචාරනවා

ක්‍රි. රට පාලනය කරනවා ; ආණ්ඩු කරනවා ; රාජ්‍යය කරනවා.

රජය සතු

වි. රජයට අයත් ; රාජ්‍ය සන්තක.

රජයන

වි. බලය පවත්වන ; ප්‍රධානත්වය දරන ; පාලනය කරන ; ආණ්ඩු කරන.

රජයනය

(පාරිභා.) නා. පාලන විධිය ; ආණ්ඩු ක්‍රමය.

රජයේ ඉඩම්

නා. රජයට අයත් භූමිභාග ; ආණ්ඩුව සතු ඉඩකඩම්.

රජයේ බද්ද

නා. රජයට අයත් දේපළ ඉඩකඩම් ආදිය කාලසීමාවක් නියම කොට පෞද්ගලික පක්ෂයට ලියා දෙන බද්ද.

රජයේ බැංකුව

නා. රජයෙන් පාලනය වන බැංකුව ; රජයට අයත් බැංකුව.

රජයේ ව්‍යවසාය

නා.ප්‍ර. පෞද්ගලික නොවන, රජයෙන් ව්‍යාපාරයන් මෙහෙයීම.

රජයේ සුරැකුම්පත්

නා.බහු. විශ්වාසය හා ආරක්ෂාව ඇතිව මුදල් වෙනුවෙන් බැංකු ආදියට රජය නිකුත් කරන ගිවිසුම් පත.

රජරට

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ පුරාණ රාජධානි පැවති උතුරුදිග ප්‍රදේශය.

රජරස්

නා.ප්‍ර. ධූලි සමූහය ; රජස් සමූහය.

රජරෝදය

(පාරිභා.) නා. අවකරණ පට්ටම් ගියරයට වඩා ලොකු දැති රෝදය.

රජශ්‍රී

නා.ප්‍ර. රජසිරි ; රාජශ්‍රීය ; රාජ්‍යසම්පත.

රජසබය

නා. රජතුමා මැති ඇමති ආදින් සහිත ව පවත්වන රැස්වීම ; රාජසභාව.

රජස්

1. නා.ප්‍ර. ධූලි ; දුහුවිලි.
2. රජෝගුණය.
4. ස්ත්‍රීන්ගේ ඔසප් ලේ.