සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1344

රාජප්‍රසාදය

1. නා. රජුගේ පැහැදීම.
2. රජුගෙන් ලැබෙන ත්‍යාග ; වරප්‍රසාද ආදිය.

රාජපුත්‍රී

නා.ප්‍ර. රජුගේ දූ කුමරිය.

රාජපූජිත

වි. රජු විසින් පුදනු ලැබූ ; රජුගෙන් උසස් ගෞරව ලත්.

රාජබන්ධන

නා.ප්‍ර. නක්ෂත්‍ර යෝගයක්.

රාජබන්ධු

නා.ප්‍ර. රජුගේ නෑයා.

රාජභය

නා.ප්‍ර. රජුගෙන් ඇති විය හැකි භය.

රාජභාගය

නා. යම් ආදායමකින් රජුට දිය යුතු කොටස.

රාජමන්ත්‍රණ සභාව

නා. රාජ්‍යයක් පාලනය කිරීමේ බලතල ඇති ව තේරී පත් වූ මහජන නියෝජිතයන්ගෙන් යුත් සභාව ; රාජ්‍ය මන්ත්‍රණ සභාව.

රාජමහාමාත්‍ය

නා.ප්‍ර. රජුගේ මහ ඇමති ; රාජ සභාවේ ප්‍රධාන ඇමති.

රාජමහාමාත්‍ර

නා.ප්‍ර. රජකුට සේ මහත් සම්පත් ඇත්තා ; රාජ සභාවේ ප්‍රධාන ඇමතියා.

රාජමහිමය

නා. රජකුගේ ශ්‍රේෂ්ඨත්වය ; උදාරත්වය.

රාජමානය

නා. පුරාණ ධාන්‍ය මිණුමක්.

රාජමාන්න

නා.ප්‍ර. රජු විසින් ප්‍රදානය කරනු ලබන ගෞරව නාම ආදිය.

රාජමාන්‍ය

වි. රජුගෙන් ගෞරව නාම ආදිය ලැබූ.

රාජමායම

නා. රජුන්ගේ උපාය ; රාජ ප්‍රයෝගය.

රාජමාලකය

නා. අභාවප්‍රාප්ත රජකුගේ දේහය ආදාහනය කරන ස්ථානය ; රාජ සුසානය.

රාජමාළිගය

නා. රජ මැදුර.

රාජමුද්‍රාව

නා. රජු හෝ රජය සංකේත කරන ලාංඡනය ; රාජ්‍ය ලාංඡනය.

රාජයෂ්ටිය

නා. රජුගේ සැරයටිය ; දණ්ඩනායක බවෙහි සංකේතය ; සෙංකෝලය.

රාජයික

වි. රජය හා සම්බන්ධ.

රාජයෝගය

1. නා. (ජ්‍යෝති.) අතිශය ශුභ ඵල ගෙන දෙන ග්‍රහ යෝගයක්.
2. (දර්ශන.) පෙරදිග යෝග ශාස්ත්‍රයෙහි හැඳින්වෙන මානසික අභ්‍යාස ක්‍රමයක්.

රාජරඞ්ග

නා.ප්‍ර. රිදී ලෝහය.

රාජරත්න

නා.ප්‍ර. උතුම් රජතුමා.

රාජර්ධිය

නා. රජුන්ගේ සමෘද්ධිය.