සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1380

ලක්නාගෙය

නා. වාසය කරන ස්ථානය ; නිවසන තැන ; ලක්නා තැන.

ලක්වැසි

වි. ලංකාවාසී වූ : ශ්‍රී ලංකාවෙහි වාසය කරන.

ලක්වැසියා

නා. ලක්දිව වාසය කරන්නා ; ශ්‍රී ලංකාව ජන්මභූමි කොට සිටින්නා ; ශ්‍රී ලාංකිකයා.

ලක්ෂ දෙනවා

ක්‍රි. ලක්ෂ වාරයක් ජප කරනවා ; මතුරනවා.

ලක්ෂ පුස්නා

වි. ලක්ෂයක් වටිනාකම් ඇති.

ලක්ෂණ

නා.ප්‍ර. යමක පිහිටීමේ ස්වරූපය ; යමක් පැහැදිලි කිරීම හා එහි ගුණාංග ; යමක වෙනස්කම් හඳුන්වාදිය හැකි හැඩහුරුකම ; ආකාරය ; (රෝගාදියෙහි) ස්වභාවය.
2. (ශාරීරික) අංග සලකුණ ; චිහ්නය ; ශරීර ස්වභාවය.
3. අනිත්‍යාදි වශයෙන් පැනෙන ස්වභාවය.
4. ශරීර ස්වභාවය ; අඟ පසඟ පිහිටි ආකාරය.
5. භාෂා ව්‍යාකරණයට සම්බන්ධ සූත්‍රය ; නිදසුන ; උදාහරණය.
6. රූපශෝභාව ; අලංකාරය.
7. අභිධානය.
8. රෝගයක් හඳුනා ගැනීමට තුඩු දෙන කාරණා සමූහය.

ලක්ෂණ ප්‍රතිවේධය

නා. අනිත්‍යාදි ලකුණු පිළිබඳ අවබෝධය ; ලෞකික ලෝකෝත්තර ධර්ම පිළිබඳ යථා ස්වරූපය දැනීම.

ලක්ෂණ ශාඨ්‍යය

නා. තමන් කෙරෙහි පවත්නා නුගුණ සඟවන ලක්ෂණ ඇති මායිම් ස්වභාවය : ශඨභාවය.

ලක්ෂණ ශාස්ත්‍රය

නා. (යම්කිසිවක) ලකුණු බලා තතු විස්තර ප්‍රකාශ කිරීමෙහි උපයෝගී විද්‍යාව ; (ශරීර) ලක්ෂණ බලා ස්වභාවය, අනාගතය හා ඉරණම ප්‍රකාශ කරන ශාස්ත්‍රය.

ලක්ෂණ සම්පත්තිය

නා. මහා පුරුෂ ලක්ෂණවලින් හෙබි සම්පත ; ලක්ෂණ සමෘද්ධිය.

ලක්ෂණාන්විත

වි. ශරීරාංගවලින් යුත් ; ශරීර ලක්ෂණවලින් හෙබි.

ලක්ෂණානුව්‍යඤ්ජන

[ලක්ෂණ + අනුව්‍යඤ්ජන]
නා.ප්‍ර. මහාපුරුෂ ලක්ෂණ හා අනූව්‍යඤ්ජන ; දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසිති අනුලක්ෂණ.

ලක්ෂය

නා. ශත සහස්‍රය ; දහසේ සියයක් වන සංඛ්‍යාව.

ලක්ෂසුප්ත නිද්‍රාව

නා. නිදා සිටින බව පෙනෙන්නට සැලැස්වීම ; හොර නින්ද.

ලක්ෂ්මි

1. නා.ප්‍ර. සැප සම්පත් ගෙන දෙන ශ්‍රී කාන්තාව හෙවත් විෂ්ණු දෙවිගේ භාර්යාව.
2. ශ්‍රීයාව ; සැපසම්පත.

ලක්ෂ්‍ය උස

(පාරිභා.) නා. එල්ලවන ස්ථානයෙහි මුදුන ; ලක්ෂයෙහි කෙළවර.

ලක්ෂ්‍ය කරනවා

ක්‍රි. ලක්ෂණයෙන් පැහැදිලි කරනවා.

ලක්ෂ්‍ය කුලකය

(පාරිභා.) නා. එල්ලවන ස්ථාන යුගලය ; ලක්ෂ්‍ය ජෝඩුව.

ලක්ෂ්‍ය පථය

(පාරිභා.) නා. එල්ලවන ස්ථානයෙහි මාර්ගය ; ලක්ෂ්‍ය මාර්ගය.

ලක්ෂ්‍ය වේධ

වි. ඉලක්කයට විදින.

ලක්ෂ්‍යය

1. නා. ඉලක්කය ; කුරුමානම.
2. ස්ථලය සීමාව.
3. ලක්ෂණයෙන් අවබෝධ වන අර්ථය ; නිදසුනෙන් ඉදිරිපත් කළ ස්වභාවය.
4. අරමුණ ; බලාපොරොත්තුව ; අභිප්‍රාය.
5. (පාරිභා.) ලක්වන තැන ; ස්ථානයක් මිස විශාලත්වයක් නැති දෙය ; තුඩ ; තිත.

ලක්ෂ්‍යස්ථාන

නා.ප්‍ර. ඉලක්කය වන ස්ථානය.

ලක්ෂිත

වි. ලකුණු කළ ; සලකුණු කරන ලද.

ලකුට

නා.ප්‍ර. පොල්ල ; මුගුර.