සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1381

ලකුණ

1. නා. යමක් හැඳින ගැනීමට උපකාර වන කරුණ ; සලකුණ ; ලක්ෂණය.
2. ලෝක ස්වභාවය ; අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්ෂණ.
3. සටහන ; චිහ්නය ; කැලල ; ලපය.
4. අක්ෂර නියමය ; ගුරු, ලඝු නියමය ; අලංකාරයන්හි ලක්ෂණ.
5. (විභාග උත්තර පත්‍ර බැලීමේ දී පිළිතුරුවලට දෙනු ලබන) ඇගයීම් සංඛ්‍යාව.
6. පිළිමය ; ප්‍රතිමාව.

ලකුණ්ටක

වි. උස නැති ; මිටි ; වාමන.
නා.ප්‍ර. මිටි තැනැත්තා ; මිට්ටා.

ලකුණු කරනවා

1. ක්‍රි. සලකුණු කරනවා ; සටහන් කරනවා.
2. විභාග උත්තර පත්‍ර බැලීමේ දී එහි අගය අනුව ඒවා සුදුසු සංඛ්‍යාව දමනවා.

ලකුණු කළ මිල

(පාරිභා.) නා. යම්කිසි භාණ්ඩයක සටහන් කර ඇති වටිනාකම ; නියම කළ මිල.

ලකුලු

වි. අලංකාර ; ශෝභමාන ; මනහර ; ලකල්.

ලකෝලිය

නා. කමත අතුගාන ඉදල ; බෝලත්ත ; පඹ අත්ත.

ලග

වි. ඇලුණු ; බැඳුණු ; ආසන්න.

ලගඩුව

නා. පොල්ල ; මුගුර.

ලගණය

නා. ඇස් පිහාටුවේ හට ගැනෙන කුඩා ගැට විශේෂයක් ; නගනය.

ලගනවා

1. ක්‍රි. ඇලෙනවා ; ආසක්ත වෙනවා.
2. රාත්‍රිය ගත කරනවා.
3. වැතිරෙනවා ; වැටී සිටිනවා.
4. තාවකාලික ව රැඳී සිටිනවා.

ලගමන

නා. මරා ගත් ඌරකුගේ වලිගය හා තට්ටම් පෙදෙසට අයත් මස් වැදැල්ල.

ලග්ගහනවා

ක්‍රි. කියාගත නොහැකි වෙනවා ; යමක් ප්‍රකාශ කරන විට දිව පටලැවීමෙන් අදහස් පැවසීමට අසීරු වෙනවා.

ලග්න

වි. ඇලුණු ; ආසක්ත ; සංසක්ත ; පටලැවුණු ; රැඳුණු; නිරත වුණු.
1. නා.ප්‍ර. (ජ්‍යෝති.) සූර්ය මාර්ගය දොළහට බෙදීමෙන් ලැබෙන කොටස ; කෙනෙකුගේ උත්පත්ති මොහොතේ ක්ෂිතිජයෙන් උදාව පැවති අංශක 30කින් යුත් කොටස.
2. ඇලීම ; ආසක්ත වීම.
3. ලැගීම ; නැවතීම ; විසීම.
4. ප්‍රධාන ශාකයකට හා කරන කොටස ; ශාකයකට බද්ධ කරන කොටස ; බද්ධය.

ලග්න ඒරාෂ්ටකය

නා. (ජ්‍යෝති.) ත්‍රිවිධ ඒරාෂ්ටක අතුරෙන් එකක්; සෙනසුරු ග්‍රහයා ලග්න කේන්ද්‍රයේ 1, 2, 12 යන ස්ථානවල ගමන් කිරීම නිසා ඇතිවන යෝගය ; මෙය අගුණ කාලයකැයි සාමාන්‍යයෙන් සැලකේ.

ලග්න කරනවා

ක්‍රි. බඳිනවා ; බන්ධනය කරනවා ; අලවනවා ; හා කරනවා.

ලග්න ජ්වරය

නා. දිවා රාත්‍රි මුලුල්ලෙහි එක හැටියට ම පවතින උණ රෝගයක්.

ලග්න සන්ධිය

නා. කැපූ අත්තක් ගසකට හා කිරීම ; බද්ධකරණය.

ලග්න ස්ථානය

නා. (ජ්‍යෝති.) රාශි චක්‍රයේ ස්ථාන දොළොසෙහි පළමුවන ස්ථානය.

ලගින පැල

නා. රැඳී නැවතී සිටින පැල (මුර කිරීම ආදි කටයුතු සඳහා, විශේෂයෙන්ම රාත්‍රි භාගයෙහි) ලැග සිටින කුටිය.

ලගු

1. වි. සැහැල්ලු ; බර නැති ; ලාමක.
2. කෙටි.
3. අල්ප ; මඳ ; ස්වල්ප.
4. හෑල්ලු ; මදි පුංචි.
5. ලුහු ; ලඝු.

ලගුමාංසය

නා. සැහැල්ලු මස ; කටු සහ තෙල් රහිත දිරවිය හැකි මස ; ළපටි මස.

ලගුල්ලනවා

ක්‍රි. හිටි තැනම ඉන්නවා ; එහෙ. මෙහෙ නොගොස් එක තැන ම ඉන්නවා ; නිකරුණේ යම් තැනක ඉන්නවා.

ලගුළ

නා. පොල්ල.

ලගූඩය

1. නා. ලගඩුව බ.
2. කුළු ගෙඩිය.