සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1382

ලඝු

1. වි. කුඩා ; ස්වල්ප ; පුංචි ; නොවැදගත් ; සුළු ; සරල.
2. සැහැල්ලු ; බර නැති (සෘද්ධි බලයෙන් ශරීරය) සැහැල්ලු කරන ; (සිතේ) සැහැල්ලු ඇති.
3. (ගුණ දහමින්) උසස් නොවූ ; ශ්‍රේෂ්ඨ නොවූ.
4. ගිජුකමෙන් තොර ; මසුරුකමෙන් තොර.
5. අඩු ; අල්ප ; මන්ද.
6. නිස්සාර ; හිස් ; වැදගැම්මකට නැති.
7. දිරවීමට පහසු ; බර බවින් තොර වූ.
8. දික් නොවූ ; කෙටි.
9. ඉක්මන්; ශීඝ්‍ර ; කඩිසර.
1. නා.ප්‍ර. ගුරු නොවූ අකුර ; නොඇද ශබ්ද කරන අකුර ; භ්‍රස්වාක්ෂරය.
2. (ආහාරාදියෙහි) ගුණ විශේෂයක් ; බර නැතිබව ; සැහැල්ලු ගුණය.

ලඝු අන්ත්‍රය

(පාරිභා.) නා. කුඩා අන්ත්‍රය ; ග්‍රහණිය.

ලඝු ගණකය

නා. (ගණිත.) නිත්‍ය සංඛ්‍යාවක්, වෙනත් දෙන ලද සංඛ්‍යාවක් ලැබෙන පරිදි එම පාදය එසවිය යුතු බලයේ දර්ශකය.

ලඝු චිත්තය

නා. ලගු සිත ; සැහැල්ලු සිත ; සිතුවිලිවලින් අවුල් නොවූ බර බැවින් තොර සිත.

ලඝු තරංගය

(පාරිභා.) නා. කෙටි තරංගය ; මීටර් 50ක් හෝ ඊට අඩු හෝ තරංග ආයාමයක් ඇති තරංගය.

ලඝු දෘෂ්ටිය

නා. ඈත බැලීමේ ශක්තිය නැති බව ; දුර නොපෙනීම.

ලඝු ප්‍රයත්නය

නා. වෙහෙසකින් තොර ප්‍රයත්නය ; අල්ප උත්සාහය.

ලඝු පැවැත්ම

නා. සැහැල්ලු ජීවිතය ; සරල ජීවිතය ; අපිස් දිවිය ; චාම් පැවැත්ම.

ලඝු මසුරිකා

නා.ප්‍ර. පැපොල රෝගය.

ලඝු වරද

(පාරිභා.) නා. සුළු වරද ; කුඩා වරද ; බරපතල නොවූ වැරැද්ද.

ලඝු ව්‍යාධිය

නා. බලවත් හෝ දරුණු තත්වයෙහි ලා නොසැලකෙන රෝගය ; ප්‍රාණ හානියක් ඇති කිරීමෙහි සමත් නොවන ආබාධය ; සුළු අසනීපය.

ලඝුජීවී

වි. ඉතා කෙටි කලක් ජීවත්වන.

ලඝුතා

නා.ප්‍ර. සැහැල්ලු බව ; නොබර බව.

ලඝුපාකය

1. නා. ආහාර පහසුවෙන් දිරවීම.
2. ඖෂධ පාක විධියක්.

ලඝුලේඛකයා

නා. ලඝු ලේඛනය මගින් සටහන් කරගන්නා.

ලඝුලේඛනය

නා. යම් පාඨයක් අකුරින් නො ලියා කෙටි සංකේත මගින් වේගයෙන් සටහන් කර ගැනීමේ ශිල්පය.

ලඞ්ඝනය

නා. ආහාර නොගැනීම.

ලඞ්ඝිකයා

නා. පිනුම් ගැසීම, පැනීම ආදි ශිල්පීය දක්ෂතාවෙන් යුක්තයා.

ලඟ

1. නා.ප්‍ර. ස්නේහය ; අනුරාගය ; ඇල්ම.
2. ළඟ ; සමීපය.

ලජ

1. නා.ප්‍ර. වී ආදි ධාන්‍යවල පොරි ; විලඳ.
2. ලජ්ජාව ; විළිය.
3. රජ රාජයා.

ලජ පස් මල්

නා.ප්‍ර. ලද හෙවත් විලඳ පස් වැනි කොට ඇති පවිත්‍ර වස්තු (මල්) පහ ; අබ, සුනුසහල්, සමන් කැකුළු, ඊතණ සහ විලඳ යන ද්‍රව්‍ය.

ලජ්ජා

වි. සිත තුළ පහළ වන විළි බිය පිරුණ හැඟීමෙන් යුක්ත ; ලජ්ජාවෙන් යුතු ; ලජ්ජාවෙන් බර ; විළියෙන් පිරි.

ලජ්ජාව

1. නා. සිත තුළ පහළ වන විළි බිය සහිත හැඟීම ; වැරදි දෙයක් කිරීම පහත් යැයි සිත තුළ පහළ වන හැඟීම.
2. සමාජය විසින් අසභ්‍ය ලෙස පිළිගන්නා යමක් ප්‍රසිද්ධියේ කිරීමට සිත තුළ ඇති වන බිය සැක මුසු ස්වභාවය ; ආචාර විරෝධි ක්‍රියා සඳහා ඇතිවන පිළිකුල් සහගත හැඟීම.
3. අපහාස, අවමාන, ආදිය ලැබීමෙන් සිතෙහි ඇතිවන ගිලන්බව ; සිතට එකඟ වන යමක් සිදු නොවීම ; තත්ත්වයට අඩු පැවැත්මක යෙදීම ; අදහසක් ඉටු නොවීම ආදියෙහි දී ඇතිවන චිත්ත ස්වභාවය ; මදිකම.
4. යම්කිසි අවස්ථාවකට ඉදිරිපත්වීමේදී හිතේ ඇතිවන චකිත ස්වභාවය ; කුලෑටිකම ; සබකෝලය.
5. මුළාව.

ලජ්ජාශීලි

වි. ලජ්ජා ගති ඇති ; කුලෑටි.

ලජ්ජි

වි. ලජ්ජා ඇති ; ලජ්ජා ගතියෙන් යුත්.