සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1383

ලජ්ජිත

වි. ලජ්ජාවට පත්.

ලඤ්චය

නා. යම් අරමුණක් සාදා ගැනීම සඳහා නීති විරෝධී ව දෙන දීමනාව ; අල්ලස.

ලඤ්ඡනය

නා. සලකුණ ; මුද්‍රා සටහන ; මුද්‍රාව ; කෙනකු හෝ යමක් හඳුනා ගැනීමේ සංකේතය.

ලටපට

1. නා. නානා දෙය ; ඒක මේක.
2. අවුල් වියවුල් කතා ; තේරුමක් නැති කතා ; වැල්වටාරම්.
3. වං හුං තොරතුරු.

ලඩ ගහනවා

1. ක්‍රි. මලපහ කරනවා ; බෙටි ලනවා.
2. මැටි පිටි ආදි යමක් පමණට වඩා දියාරු කරනවා.

ලඩ ගැහෙනවා

ක්‍රි. එකට කැටි වෙනවා ; එකට සම්බන්ධ වී පවතිනවා.

ලඩය

1. නා. එකට කැටි වූ හෝ කැටි කරගත් දෙය ; එකට තද වූ බැඳුණු දේ.
2. සතුන්ගේ අසූචි පිණ්ඩය ; බෙට්ට ; වියළි වසුරු පිඩ.
3. බර පොදිය.
5. හපය.

ලණු ඉණිමග

නා. නැව්, උස්තැන් ආදියට නැගීම සඳහා ලණුවෙන් තනන ලද සෝපානය.

ලණු කනවා

ක්‍රි. වැරදි තොරතුරක් හෝ උපදේශයක් නො විමසා පිළිගෙන මුළාවේ වැටෙනවා ; රැවටෙනවා ; අනුන්ගේ ප්‍රයෝජනයට අහු වෙනවා.

ලණු ගානවා

ක්‍රි. (වැල්, කෙඳි, පට්ටි ආදියකින්) ලණුවක් සකස් කරනවා ; ලණු අඹරනවා.

ලණු පැදුර

නා. ලණුවලින් වියන ලද බුමුතුරුණුව.

ලණුකාරයා

1. නා. ලණු ඇඹරීමේ කර්මාන්තයේ යෙදී සිටින්නා ; ලණු අඹරන්නා ; ලණුකාර්මිකයා.
2. වැරදි තොරතුරු හෝ උපදෙස් දෙන තැනැත්තා ; කෙනෙකු නොමග යවන පුද්ගලයා.

ලණුපදම

නා. බෙහෙත් තෙල් සිඳීමේ දී එහි උකු බවෙහි ප්‍රමාණය දැක්වෙන පදම් ප්‍රමාණය ; නූලක් මෙන් ඇදෙන තරම් උකු වූ ප්‍රමාණය.

ලණුපිල

නා.ප්‍ර. ගවයාගේ කර, විය ගසෙහි බැඳීමට පාවිච්චි කරන ලණුව ; වියකර.

ලණුබහන්

නා.ප්‍ර. හීන් ලණු සහ ලොකු ලණු හෙවත් කඹ.

ලණුබිලි හැඹිලිය

නා. ධීවරයන්ගේ යොත්, බිලී ආදි සියලු උපකරණ බහා මුහුදු ගෙන යන පසුම්බිය.

ලණුමල

නා. තරාදි දණ්ඩ එල්ලන ලණුව දමන පුඩුව.

ලණුව

1. නා. කොහු, කෙඳි, පට්ටා, ලෝම ආදි කිසියම් ද්‍රව්‍ය රැසක් වෙළු කොට අඹරා සාදන ලද පටවල් දෙකකින් හෝ වැඩි ගණනකින් යුත් රැහැන ; යොත ; රෑන ; කඹය ; රජ්ජුව.
2. (රූඪි) වැරදි තොරතුරු ; බොරු ආරංචිය ; වැරදි මඟ පෙන්වීම.

ලත් තැන

නා. ලැබූ දවස පටන්ගත් අවස්ථාව.

ලත් තැනම

ක්‍රි.වි. පටන් ගත් හැටියේ ම ; ආරම්භයේ දී ම.

ලත් පරවේණිය

නා. මිලයට ගන්නා ලද දේපළ ; මුදල් දී ගත් ඉඩකඩම්.

ලත් හිමිය

නා. තමන් ම උපයා ගත් දේපොළ.

ලත්තෑරුම

නා. අතින් එල්ලාගෙන යා හැකි ලාම්පු විශේෂයක් ; අත් පහන.