සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1384

ලතා කර්ම

නා.ප්‍ර. අලංකරණය සඳහා විවිධ වැල්වල රූප යොදමින් කරන සැරසිලි කලාවක් ; ලියකම්.

ලතා කින්නර

නා.ප්‍ර. මිනිස් උඩුකයක් ද, පක්ෂියකුගේ වැනි යටිකයක් ද ඇතැයි සැලකෙන කිඳුරු වර්ගයේ සත්වයා ; ලියකිඳුරා.

ලතා ගුම්බය

නා. වැල් සමූහයක් එකට සෑදුණ ගොමුව ; ලිය ගොමුව ; ලිය වදල.

ලතා ගෘහය

නා. වැල් ගෙතී සෑදුණු ගෙයක් නොහොත් මඩුවක් වැනි නිමවුම ; ලියගෙය ; ලියමඩුව ; ලතා මණ්ඩපය.

ලතා චාපය

නා. දුනු දිය බමර වැලකින් සෑදී ඇතැයි සැලකෙන උක්දඬු දුන්න ; අනංගයාගේ දුන්න.

ලතා පසුර

නා. ගසක් වටා එල්ලෙමින් පහුරක් මෙන් වැඩී ඇති වැල් සමූහය.

ලතා මණ්ඩපය

නා. වැල් ගෙතී සෑදුණ මඩුවක් වැනි නිමැවුම ; ලියමඩුව ; ලතා ගෘහය.

ලතා මණී

1. නා.ප්‍ර. රත්නයක් ලෙස සැලකෙන පබලු විශේෂයක් ; රත් කොරල් ; රත්න ප්‍රචාල.
2. මැණිකක් වැනි වූ උත්තම කාන්තාව ; ස්ත්‍රී රත්නය ; ශ්‍රේෂ්ඨ ප්‍රමදාව.

ලතා යෂ්ටි

1. නා.ප්‍ර. වැල් සටහන් සහිත රිට.
2. ඖෂධ පිණිස භාවිත වන වැල් විශේෂයක් ; වැල්මී.

ලතා ලෑල්ල

නා. දොරක් හෝ ජනේලයකට උඩින් දොර හෝ ජනෙල් රාමුවට සම්බන්ධ කර ඇති මල් ලියකමින් යුත් දැවමය කොටස.

ලතා ලිඞ්ගික

වි. වැල්වලින් ගැවසී ගත් ; වැල් වැළඳි ; වැල් එතුණු.

ලතාන්තය

[ලතා + අන්තය]
නා. මල ; කුසුම ; පුෂ්පය.

ලතාමාලා කර්ම

නා.ප්‍ර. ලියකම් හා මල්කම්.

ලතාව

1. නා. දික්ව ඇදෙන සිහින් වැල ; වල්ලිය.
2. වෘක්ෂ ශාඛාව.
3. ස්ත්‍රිය ; අඟන ; කත.
4. පිළිවෙළ ; තාලය ; විලාසය ; ලාලිත්‍යය.

ලතින්

1. නා.ප්‍ර. පැරණි රෝම දේශයේ භාෂාව.
2. ලතින් භාෂාවෙන් ප්‍රභව වූ ඉතාලි, ප්‍රංස, ස්පාඤ්ඤ, පෘතුගීසි ආදි භාෂා පිළිබඳ නොහොත් ඒ භාෂා භාවිත කරන ජන කොට්ඨාසය.

ලතින් අමෙරිකාව

නා. දකුණු හා මධ්‍යම අමෙරිකාවේ ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂා ප්‍රධාන වශයෙන් කතා කරන රටවල් සමූහය.

ලතු

1. නා.ප්‍ර. ලාකඩ ; ලා රස ; අලක්ත.
2. ලේ ; රුධිරය.
3. බුලත්විට ; ලතුවිට.

ලතු කවනවා

1. ක්‍රි. ආලේපයකින් තොල් රතු කර ගන්නවා.
2. බුලත් හපනවා.

ලතු දිය

නා. අලක්තක ජලය ; දිය කළ ලාකඩ ; ලතු රස, ලතුපත් රස.

ලද

1. වි. ළපටි ; ළාබාල ; බොළඳ ; දහර.
2. යහපත් ; මනහර ; සිත්කලු ; මනෝඥ.
3. ලැබුණු ; ලබාගත්.
1. නා.ප්‍ර. ළදැරිය ; ළාබාල කාන්තාව.
2. ලජ්ජාව ; හිරිය.
3. විලඳ ; පොරි.
4. ඇදහීම ; විශ්වාසය ; ලබ්ධිය ; දෘෂ්ටිය.
5. ලකුණ ; ලාඤ්ඡනය ; සලකුණ.

ලද පස්මල්

නා.ප්‍ර. උත්සව අවස්ථාවලදී ඉසීමට ගන්නා (ලද/විලඳ පස්වෙනි කොට ඇති) ද්‍රව්‍ය වර්ග පස ; අබ, සුන්සහල්, සමන් කැකුළු, ඊතණ, විලඳ යන ශුභ වස්තු පහ.

ලද බොළඳ

1. වි. ඉතා ළදරු ; ළා බාල ; මොලකැටි.
2. ඉතා සුරතල්.

ලදරන් ගහනවා

ක්‍රි. පරණ වෙනවා ; ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා.

ලදලිය

1. නා. අලුත් වැල ; නවලතාව.
2. තරුණ කාන්තාව ; යුවතිය.

ලදවිය

නා.ප්‍ර. ළමා කාලය ; ළදරු වයස ; කුඩා කාලය ; ලද වයස.