සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1609

ශබ්ද ප්‍රකෘතිය

නා. නාම පදයක මුල් ස්වභාවය ; නාම ප්‍රකෘතිය.

ශබ්ද ප්‍රඥප්තිය

නා. ශබ්දයක් පිළිබඳව ව්‍යවහාරය අනුව ඇති වී තිබෙන සම්මතය ; අකුරක හඬ පිළිබඳ නියමය.

ශබ්ද ප්‍රයෝගය

නා. වචන යෙදෙන ආකාරය ; වචන භාවිතය ; වචන යෙදීමේ රටාව.

ශබ්ද පූජාව

නා. බුදුරදුන්ට හේවිසි, හොරණෑ, වීණා ආදි වාද්‍ය භාණ්ඩ වාදන ශබ්දයෙන් කරන පූජාව.

ශබ්ද පෙට්ටිය

(පාරිභා.) නා. තැටිගත කරන ලද ගීත ශබ්ද ආදිය නැවත වාදනය කිරීම සඳහා උපයෝගී කරගන්නා සංගීත භාණ්ඩ විශේෂය ; ධ්වනි මඤ්ජුසාව.

ශබ්ද බාහුල්‍යය

නා. වචන බහුල බව ; වචන අධික බව.

ශබ්ද භේදය

1. නා. වචනවල එකිනෙකට ඇති වෙනස ; වචනයන්ගේ විවිධත්වය.
2. වචන උච්චාරණය සම්බන්ධව ඇති විවිධත්වය ; වචන උච්චාරණ භේදය.

ශබ්ද මඤ්ජුසාව

නා. බොටුව ; ගෙල ; ග්‍රීවය.

ශබ්ද මාධුර්යය

1. නා. වචනයෙහි මිහිරි බව ; හඬෙහි මධුරභාවය.
2. ගද්‍ය පද්‍ය රචනාවල අක්ෂර යෙදීමේ ක්‍රම මගින් උපදින ශබ්ද රසය.

ශබ්ද ලක්ෂණය

1. නා. (භාෂාවෙහි) ශබ්දවල ලක්ෂණය.
2. වියරණය.

ශබ්ද වර්ධනය

නා. ස්වර වැඩීම ; කටහඬ වැඩීම ; කථාවෙහි ස්වරය පිරිසිදු වීම.

ශබ්ද ව්‍යුත්පත්තිය

නා. වචනයක නිරුක්තිය ; වචනයක ප්‍රභවය.

ශබ්ද විතර්කය

නා. ශබ්දාරම්මණයට සිත නංවන චිත්ත ස්වභාවය.

ශබ්ද විද්‍යාව

1. නා. වචන පිළිබඳ විද්‍යාව ; ව්‍යාකරණ ශාස්ත්‍රය.
2. (පාරිභා.) ශබ්ද නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා ශබ්දයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විද්‍යාව ; ධ්වනි විද්‍යාව.

ශබ්ද විභාගය

නා. භාෂාවක වර්ණමාලාව වර්ග කර දැක්වීම.

ශබ්ද විශූලය

නා. ප්‍රතිධ්වනිය ඇති කරන උපකරණයක් ; අනුනාදකය.

ශබ්ද ශක්තිය

නා. වචනයේ බලවත්කම ; වාග් ශක්තිය.

ශබ්ද ශාස්ත්‍රඥයා

නා. ව්‍යාකරණය දත් විශේෂඥයා ; ශබ්ද ශාස්ත්‍රය දන්නා පුද්ගලයා.

ශබ්ද ශාස්ත්‍රය

නා. භාෂාවේ නිවැරදි ව්‍යවහාරය උගන්වන ශාස්ත්‍රය ; වියරණය ; ව්‍යාකරණය ; ශබ්ද විද්‍යාව.

ශබ්ද සංකේත

නා.ප්‍ර. ශබ්දයක් හැඳින්වීමට භාෂාවෙහි යොදන අක්ෂර.

ශබ්ද සංග්‍රහය

1. නා. වචන එකතුව ; අකාරාදිය.
2. නම් වැල ; නාමාවලිය.

ශබ්ද සංඝට්ටනය

නා. ශබ්ද ගැටීම.

ශබ්දකාර

වි. ශබ්ද කරන ; හඬ නංවන.

ශබ්දකෝෂ කර්තෘ

නා.ප්‍ර. ශබ්දකෝෂයක් සම්පාදනය කරන්නා ; ශබ්දකෝෂකරණයෙහි නියැලී සිටින තැනැත්තා.