සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1673

සකපිය

නා.ප්‍ර. ඇස් පිහාටු.

සකම්

1. වි. කර්මයක් සහිත ; කර්මයක් ගන්නා.
2. කාම සහිත.
නා.ප්‍ර. කාමාවචර දිව්‍යලෝක හය.

සකම්පිත

වි. මහත් සේ කම්පනයට පැමිණි.

සකර

1. නා.ප්‍ර. සත්කාරය ; ආදර සම්ප්‍රයුක්ත සම්මානය ; බුහුමානය.
2. සකුරු ; ශර්කරා.
3. සංස්කාරය.
4. ‘ස’ අක්ෂරය.
5. පියුම.
6. ද්‍රව්‍යය.
වි. සකස් කළ ; සංස්කරණය කරන ලද.

සකර කඳ

නා.ප්‍ර. සංස්කාර ස්කන්ධය.

සකර දහම්

නා.ප්‍ර. සංස්කාර ධර්ම.

සකර ධර්‍ම

නා.ප්‍ර. සකරදහම්බ.

සකර බිම

නා. සකස් කළ බිම ; පිළියෙළ කළ භූමි භාගය.

සකරණීය

වි. කටයුතු සහිත.

සකරදාරිස්

නා.ප්‍ර. රජයේ ලේඛන කාර්ය භාර නිලධාරි ; ලේකම්.

සකරදුක්

නා.ප්‍ර. සංස්කාරයක් හේතු කොටගෙන ඇතිවන්නා වූ දුක් ; සංස්කාර දුක්ඛය.

සකරපස

නා.ප්‍ර. සංස්කාර ප්‍රත්‍යය.

සකරම් පෝරුව

නා. ගොවිතැනට හානි කරන කුරුලු ආදි සතුන් පලවා හැරීම සඳහා භාවිත වන හඬ නංවන උපකරණ විශේෂයක්.

සකර්මක

වි. කර්මය සහිත වූ ; කර්මයක් අපේක්ෂා කරන.

සකර්මක ක්‍රියාව

නා. (ව්‍යාක.) කර්මයක් අපේක්ෂා කරන ක්‍රියාව ; ක්‍රියා පදය.

සකර්මක කෘදන්තය

නා. (ව්‍යාක.) කර්මයක් අපේක්ෂා කරන, ධාතුවකින් පර ව විවිධ අර්ථ ප්‍රකාශක ප්‍රත්‍ය යෙදීමෙන් සාදාගනු ලබන ශබ්ද ; ප්‍රත්‍යාර්ථ ශබ්ද.

සකර්මක ධාතුව

නා. (ව්‍යාක.) කර්මයක් අපේක්ෂා කරන ක්‍රියා පද මූලය.

සකරාජ වර්ෂය

නා. දඹදිව ශක වංශයට අයත් රජුන්ගෙන් ආරම්භ වුණු වර්ෂය.

සකරු

(ව්‍යාක.) නා.ප්‍ර. 1. ෂට් කාරකය ; ක්‍රියා සිද්ධියට උපකාර වන විභක්ති හය.
2. සංස්කාර.

සකල

වි. සියලු ; සමස්ත.

සකල කලා

නා.ප්‍ර.බහු. සියලු ම ශිල්ප කලා ; සිව්සැට කලා.

සකල කලා සර්වඥ

නා.ප්‍ර. ලංකාවේ මධ්‍යතන යුගයේ බහුශ්‍රැත වියතුන්ට ප්‍රදානය කළ උපාධි නාමයක්.

සකල කලා සාහිත්‍ය පණ්ඩිත

නා.ප්‍ර. ලංකාවේ මධ්‍යතන යුගයේ බහුශ්‍රැත වියතුන්ට ප්‍රදානය කළ උපාධි නාමයක්.

සකල ධ්‍යානික

වි. ප්‍රථම, ද්විතීය, තෘතියාදි සියලු ම ධ්‍යාන හා සම්බන්ධ.