සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1710

සමධර්ම

(පාරිභා.) වි. සමප්‍රමාණ ; සමපරිමාණ.

සමධිගත

වි. මනා ව අවබෝධ කළ ; මනාව පැමිණි.

සමධිය

නා. සතුට ; ප්‍රීතිය

සමන

1. වි. සමාන ; සදිසි.
2. අසල්වැසි ; සාමන්ත.
1. නා.ප්‍ර. සැමියා ; ස්වාමිපුරුෂයා.
2. යමරජ.
3. කුවේර.

සමනතෝදර

වි. උත්තාන ; බොකු ගැසුණු.

සමනනවා

ක්‍රි. නැවත නැවත සිහිපත් කරනවා ; සම්මර්ශනය කරනවා.

සමනන්තර

වි. ළඟින් පිහිටි ; ඊළඟ ; ඒ එක්ක ම පිහිටි.

සමනන්තරය

1. නා. ඊළඟට පිහිටි දෙය ; ළඟින් වූ දෙය.
2. ඊළඟට ඇති කාලය ; අනතුරුව එළඹෙන කාලය.

සමනය

නා. සංසිඳවීම ; සුව කිරීම ; සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම.

සමනල ගෝත්‍රය

නා. පැළෑටි වර්ගවල කරල් ගෝත්‍ර ප්‍රභේද තුනෙන් කතුරුමුරුංගා, පිල ආදිය අයත් වන ගෝත්‍රය.

සමනල පුෂ්පය

(පාරිභා.) නා. පෙති සමනලයකු මෙන් වූ පුෂ්පය.

සමනල මුරිච්චිය

නා. ඇඟිලි වලින් කරකැවීමේ පහසුව සඳහා දෙපසට පෙති දෙකක් ඇති මුරිච්චිය.

සමනල වෑල්වය

නා. සමනලයකුගේ හැඩයට සාදා ඇති වෑල්වය.

සමනලයා

නා. විවිධ වර්ණවලින් අලංකාර පියාපත් සහිත, මල් පැණි බොන කෘමියෙක්.

සමන්

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේගේ අපර නාමයක්.
2. පිච්චවැල් වර්ගයක්.
3. සමන්තකූටයට අධිගෘහිත දෙවි කෙනෙකු වූ සුමන සුරිඳු.

සමන් බදුරු

වි. හැම ආකාරයෙන් ම යහපත් වූ.
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.

සමන් බොක්සල්

නා.ප්‍ර. සුමන සමන් දිව්‍ය රාජයා.

සමන්කුළ

නා. සමනොළ කන්ද ; සමන්තකූට පර්වතය.

සමන්ත

1. වි. හැමතැන ; අවට.
2. සම්පූර්ණ ; සියලු.

සමන්තචක්ඛු

නා.ප්‍ර. බුද්ධ ඥානය ; බුදුරජාණන් වහන්සේ.

සමන්තචාරුජානු මණ්ඩලය

නා. හැම අතින් ම මනෝඥ වූ දණ මඬල ; විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිපුන් දණ මඬල (අසූ අනුව්‍යංජනවලින් එකකි).

සමන්තභද්‍ර

වි. සෑම ආකාරයකින් යහපත් වූ.
1. නා.ප්‍ර. සෑම ආකාරයෙන්ම යහපත් වූ බුදුරජාණන් වහන්සේ.
2. මහායාන බෝධිසත්වවරයෙක්.

සමන්තභුජ

1. නා.ප්‍ර. සියල්ල ගිලින්නා.
2. සියල්ල ගිලගන්නා ; ගින්න.

සමන්තාත්

වි. හැම පැත්තෙන් ම ; හැම ලෙසින් ම.