සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1775

ස්වර වර්ණ

නා.ප්‍ර. ස්වර අකුරු.

ස්වර ශාස්ත්‍රය

නා. අකුරු පිළිබඳ වූ ශාස්ත්‍රය ; ශබ්ද ශාස්ත්‍රය.

ස්වර ශුලය

(පාරිභා.) නා. ශබ්ද පරීක්ෂා කිරීමේ උපකරණයක්.

ස්වර සංගතිය

නා. (සංගී.) අභිමත රාග හා තාල නිපැයුම සඳහා සංයෝග කරන ලද කාණ්ඩය ; ස්වරකැටිය.

ස්වර සන්දර්භය

නා. (සංගී.) ගීතයක ප්‍රභවයට මූල කාරණය වන ස්වර සමූහය ; ගීතයක ස්වර සමූහය.

ස්වර සන්ධිය

නා. (ව්‍යාක.) සන්ධි වන පද දෙකක, මුල් පදයේ අග ව්‍යඤ්ජනාක්ෂරයට අග පදයේ මුල ස්වරය එක් වී සෑදෙන සන්ධිය.

ස්වර සාධනය

නා. (සංගී.) තූර්ය භාණ්ඩයක ස්වර සකස් කර ගැනීම ; නියමිත ස්වරයේ හඬ නිපදවන සේ වාද්‍ය භාණ්ඩයේ තත් සකස් කිරීම.

ස්වර සාම්‍යය

(පාරිභා.) නා. සංගීත ස්වරවල එකමුතු බව ; ස්වරවල අන්‍යෝන්‍ය අනුකූල බව.

ස්වරගුණය

නා. හඬෙහි ඇති විශිෂ්ටත්වය ; ස්වර විශිෂ්ටත්වය.

ස්වරජ

නා.ප්‍ර. සංගීතයේ සප්ත ස්වරයට මුල් වූ ස්වරය ; ‘ස’ ස්වරය.

ස්වරනලාව

නා. වීණා ආදී වූ නි තූර්ය භාණ්ඩයක අවශ්‍ය හඬ පිහිටුවා ගැනීමට උපකාර වන උපකරණයක්.

ස්වරනාලිකාව

නා. ගලනාලයේ බෙල්ල හා සම්බන්ධ කොටස ; උගුර.

ස්වරප්‍රසාද

නා.ප්‍ර. ස්වරවල පැහැදිලිබව ; කටහඬෙහි පැහැදිලිකම.

ස්වරබන්ධනය

නා. ස්වරය හිර වීම ; කටහඬ පිට නො වී හිර වීම.

ස්වරස

නා.ප්‍ර. කොළ පොතු ගෙඩි ආදියේ යුෂ ; ඉස්ම.

ස්වරස්වන

නා.ප්‍ර. ස්වරයේ හඬ ; කට හඬෙහි ධ්වනිය.

ස්වරහීන

1. නා.ප්‍ර. ස්වරයෙන් වෙන්වීම ; කටහඬ නැති වීම.
2. ස්වරාක්ෂරය හානිවීම ; ස්වරාක්ෂරය නැතිවීම.

ස්වර්

වි. දිව්‍ය, දේව, සුර.

ස්වර්ගපද

නා. දිව්‍ය භාවය ; දෙවි බව.

ස්වර්ගභාග්

වි. ස්වර්ගයෙහි උපන් ; දෙව්ලොව ඇසුරු කළ.

ස්වර්ගය

නා. දෙව්ලොව ; දිව්‍ය ලෝකය.

ස්වර්ගලෝක යාත්‍රාව

නා. දෙව්ලොවට යෑම ; මරණය ; ස්වර්ගස්ථ වීම.

ස්වර්ගවාසී

වි. දිව්‍ය ලෝකයෙහි වාසය කරන ; දෙව්ලොව වෙසෙන.

ස්වර්ගස්ථ

වි. දෙව්ලොව උපන් ; අභාවප්‍රාප්ත.