සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1774

ස්වයංවරණය

1. නා. සත්වයාගේ ශරීරාංග පරිසරයට අනුගත නොවන විට ඒවා අකර්මණ්‍ය වී ක්‍රමයෙන් අතුරුදන් වීම.
2. ස්ත්‍රියක සිය කැමැත්තෙන් සැමියකු තෝරාගෙන විවාහ වීමේ ක්‍රමය ; ස්වයංවරය.

ස්වයංවරය

නා. තමා ම තෝරා ගැනීම ; කන්‍යාවක විසින් සිය ස්වාමිපුරුෂයා තම කැමැත්තෙන් ම තෝරාගනු ලැබීම.

ස්වයංසාධක කේන්ද්‍රය

(පාරිභා.) නා. ස්වයං සාධක ස්නායු ඒකාබද්ධ වීමෙන් සෑදෙන මධ්‍ය කේන්ද්‍රය.

ස්වයංසාධක චලනය

නා. ශාකයක හෝ ශාක කොටසක හෝ බාහිර උත්තේජයක් නැතිව සිදුවන ක්‍රියාකාරී චලනය ; ඉබේ ම ඇති වන සෙලවීම.

ස්වයංසාධක පද්ධතිය

(පාරිභා.) නා. ශරීරයේ ඉබේ ම ක්‍රියා කරන ඉන්ද්‍රිය සමූහය.

ස්වයත්ත

වි. ඉබේ ම දත් ; නිරායාසයෙන් දැනගත්.

ස්වයථුව

නා. මහත් වීම ; ඉදිමුම.

ස්වයම්ප්‍රභූ

වි. තමාට ම හිමි වැදගත් සමාජ තත්ත්වයක් ඇති ; ස්වකීය ප්‍රභූත්වය ඇති.

ස්වයම්භාවය

නා. අනුන්ගේ උදවුවක් නැතිව පැවතීම ; නිදහස් පැවැත්ම.

ස්වයම්භාෂණය

නා. තමා තමාට ම කතා කරගැනීම.

ස්වයම්භූ

වි. තමා ම අවබෝධ කරගත් ; අනුන්ගේ උපදෙස් නැතිව දැනගත්.
1. නා.ප්‍ර. චතුරාර්ය සත්‍යය පිළිබඳ දත යුතු සියල්ල තමන්ගේ ම ඥානයෙන් අවබෝධ කොටගත් තැනැත්තා ; සර්වඥයන් වහන්සේ.
2. තමාගේ ම ප්‍රයත්නයෙන් උපත ලද්දා ; මහා බ්‍රහ්මයා.
3. ඖෂධීය ශාකයක්.

ස්වයම්භූත

වි. තෙමේ ම හටගත්.

ස්වර

1. නා.ප්‍ර. ශබ්ද ; නාද හඬ.
2. (ව්‍යාක.) හෝඩියට අයත් අක්ෂර සංකේත අතුරින් තනිව ශබ්ද කළහැකි අ, ආ, ඇ, ඈ ආදි අක්ෂර ; ප්‍රාණාක්ෂර; පණකුරු.
3. (සංගී.) වාදනය, ගායනය ආශ්‍රිත ව පවතින ස රි, ග, ම ආදියෙන් නියෝජනය වන ශ්‍රැති ; ස්වරෝත්සංග.

ස්වර තන්ත්‍රය

(පාරිභා.) නා. ස්වරාලය හරහා ඇදී ඇති ස්වර තන්ත්‍ර.

ස්වර තන්තු

නා.ප්‍ර. ස්වරාලය තුළ පිහිටි ශබ්දය ඉපදවීමට ඉවහල් වන සියුම් කෙඳි ; ස්වර නාලිකා.

ස්වර බිණීම

නා. කට පාඩම් කරන ලද දේ නැවත කීම ; ගෝලයා ගුරුවරයාට කටපාඩම් දීම ; පාඩම් කීම.

ස්වර බේදය

නා. ස්වරය බිඳීම ; කටහඬේ වෙනස් වීම.

ස්වර බෝදනය

නා. කටහඩේ පැහැදිලිබව.

ස්වර භක්තිය

නා. (ව්‍යාක.) අන්තඃස්ථාක්ෂරයක්, හෝ අනුනාසිකාක්ෂරයක් සමග සංයුක්ත වූ ව්‍යඤ්ජන අතරට ස්වරයක් වැටීමෙන් එම සංයුක්ත ව්‍යඤ්ජනයක් වෙන් කිරීම.

ස්වර භඞ්ගය

නා. කටහඬ බැඳීම ; ගොත ගැසීම.

ස්වර භාණ්‍යය

නා. මිහිරි ස්වරයෙන් බණ කීම.

ස්වර මානය

නා. (සංගී.) ස්වරවල උච්චතාව හා නීචතාව ; ස්වරෝත්සංගය.

ස්වර රචනා

නා.ප්‍ර. (සංගී.) තාලයක් අනුව ස්වර යෙදීම ; තාලයකට අනුව කරන ස්වර සංයෝජනය.

ස්වර ලකුණු

නා.ප්‍ර. (ව්‍යාක.) ස්වර ලක්ෂණ හැඳින්වීම සඳහා ව්‍යංජනාක්ෂරයට යොදන ඉස්පිලි, පාපිලි ආදි පිල්ලම්.