සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1797

සැඳ

1. නා.ප්‍ර.ඡන්දය; කැමැත්ත.
2. සන්ධිය.
3. සැඳෑව.

සැඳැල්ල

නා. සඳලුතලය බ.

සැඳෑ

නා.ප්‍ර. සවස් කාලයේ අවසන් කොටස ; සන්ධ්‍යාව.

සැපත

1. නා. මහත් වූ සම්පත්තිය ; සමෘද්ධිය ; ශ්‍රීය ; භාග්‍යය.
2. උපභෝග පරිභෝග සම්පත් හේතුවෙන් ඇතිවන සැනසිල්ල ; සුවය.

සැපත් වෙනවා

ක්‍රි. පැමිණෙනවා ; එළඹෙනවා ; සම්ප්‍රාප්ත වෙනවා.

සැපදායක

වි. සැප ගෙන දෙන ; සුවය ලැබෙන ; සුවදායක.

සැපදුක්

නා.ප්‍ර. සුවදුක් ; සැප සනීප ; සුඛය හා දුඃඛය.

සැපපහසුව

නා. සතුට සහ සනීපය ; සුවය සහ විවේකය.

සැපය

නා. කායික ව සහ මානසික ව ලබන සුවය ; සිත කය දෙකෙහි ඇති වන සුවදායී බව.

සැපයීම

නා. යමක් සම්පාදනය කිරීම ; යමක් ලබාදීම ; සපයා දීම ; භාණ්ඩ, වස්තු ආදිය සම්පාදනය.

සැපයුම

නා. භාණ්ඩ හා සේවා සැපයීම ; අවශ්‍යතාවන්ට අනුකූල ව කෙරෙන යම් යම් භාණ්ඩ හා සේවා සම්පාදනය.

සැපයුම් නම්‍යතාව

(පාරිභා.) නා. සැපයීමෙහි වෙනසක් ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන සැපයුම් ප්‍රමාණයේ වෙනස් වීම.

සැපයුම් මිල

(පාරිභා.) නා.ප්‍ර. කිසියම් භාණ්ඩයක් සැපයීමේ දී දරන්නට සිදුවන වියදම අනුව ඒ භාණ්ඩයේ වටිනාකම.

සැපයුම් ලේඛනය

(පාරිභා.) නා. කිසියම් අවස්ථාවක දී කිසියම් වෙළඳපොළක භාණ්ඩයක් සඳහා ඇති විය හැකි නොයෙක් මිල අනුව සපයන ප්‍රමාණය සම්බන්ධ ලේඛනය.

සැපයුම් වක්‍රය

නා. භාණ්ඩ සපයන පුද්ගලයන් හා ආයතන මඟින් වෙළඳපොළට නිකුත් කරන භාණ්ඩ ප්‍රමාණය දක්වන සටහන.

සැපයුම් සේවා

(පාරිභා.) නා.බහු. යම් යම් දේ සම්පාදනය කිරීමේ සේවා.

සැපසම්පත්

නා.ප්‍ර. උපභෝග පරිභෝග වස්තු සම්භාරය ; සැපය සහිත ශ්‍රී සම්පත්තිය ; ධන ධාන්‍යාදියෙන් ආඪ්‍ය බව.

සැපිනිය

නා. සර්ප ධේනුව ; හැපින්න ; නාග ධේනුව ; නැයින්න.

සැබෑ පිටපත

නා. ලේඛනයක අත් පිටපත ; මුල් කොපිය.

සැබෑ වට්ටම

(පාරිභා.) නා. ගෙවීමට ඇති මුදලත් පවත්නා අගයත් අතර ඇති අන්තරය.

සැබෑ සීලෝම

(පාරිභා.) නා.ප්‍ර. අන්ත්‍ර හා ශරීර භිත්තිය අතර ඇති සැබෑ ඉඩ.

සැබෑව

නා. සත්‍යය ; ඇත්ත ; බොරුවෙන් තොරවූව ; හැබෑව.

සැබි

වි. සභ්‍ය ; සභාවට යෝග්‍ය ; ශිෂ්ට.

සැමන්

නා.ප්‍ර. සෞම්‍ය කලාපික සාගරවල වෙසෙමින්, ගංගා ඉහත්තාවේ බිත්තර දමන ළා රතු මසින් යුත් කුඩා මත්ස්‍ය වර්ගයක්.