සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1796

සැත්ත

1. නා. ශස්ත්‍රය ; ආයුධය.
2. කලාපය ; සමූහය ; පොකුර.
3. ඡත්‍රය ; කුඩය.

සැති

1. නා. සන්තානය ; සිත.
2. (මල්) පොකුර.

සැතිරිය

නා. සතුරු ස්ත්‍රිය ; මිත්‍රද්‍රෝහි කාන්තාව ; හැතිරිය.

සැද

1. නා.ප්‍ර. අශ්වයාගේ පිට උඩ නැඟ යාමට යොදා ගන්නා අසුන ; සෑදලය.
2. (පාරිභා.) මැටි කර්මාන්තය හා සම්බන්ධ පෝරණුවේ භාණ්ඩ ඇහිරීමට යොදන ධාරක විශේෂයක්.
3. (පාරිභා.) රෙදි වියන යන්ත්‍රයෙහි දික් අතට යෙදූ නූල් සමූහය.
4. නූල් කටින යන්ත්‍රයේ කොටසක්.
5. සන්නාහය.
6. සැදුම ; සැරහුම ; ඇඳුම.

සැද කපොල්ල

(පාරිභා.) නා. කඳු වැටියක් මත සෑදලයක හැඩයෙන් යුක්ත ව පවතින කපොල්ල.

සැදැ

නා.ප්‍ර. ශ්‍රද්ධාව ; සිතෙහි පැහැදීම ; සැදැහය.

සැදැගැමි

නා.ප්‍ර. නිර්වාණය කරා ලෝකෝත්තර මාර්ගයෙහි පවතින දෙවැනි ඵලය ; සකෘදාගාමි ඵලය.

සැදි

වි. සරසන ලද ; සජ්ජිත ; අලංකාර කළ ; සැරසූ ; පිළියෙල කරන ලද.

සැනගාංචුව

(පාරිභා.) නා. ඇඳුමක, කොපුවක හෝ මල්ලක විවරය හෝ කට වැසීම සහ හැරීම සඳහා සවි කරන එකිනෙක හිප්පෙන දත් පේළි සහිත සිහින් පටිය.

සැනසිල්ල

නා. සිතෙහි ඇතිවන අස්වැසිලි ස්වභාවය ; සිතට දැනෙන සහනය ; බිය, ත්‍රාස, ශෝක, දුක් ආදිය තුනීවීමෙන් ලබන සැනසීම ; සන්සුන් බව ; අස්වැසිල්ල.

සැනසිලි තෑග්ග

නා. ප්‍රධාන තෑගිවලට අමතර ව දෙනු ලබන සුළු ත්‍යාගය ; ලොතරැයි ආදියෙහි මුල් දිනුම් තුනට අමතර ව දෙන තෑග්ග.

සැනසිලිදායක

වි. සැනසීම ගෙන දෙන ; සිතට සහනය ලබා දෙන ; අස්වැසීම ගෙන දෙන.

සැනසෙනවා

ක්‍රි. ශෝක, දුක් ආදිය තුනී වීමෙන් සිත අස්වැසිලි ස්වභාවයට පත්වෙනවා ; අස්වැසෙනවා.

සැන්ටිග්‍රේඩ්

(පාරිභා.) නා.ප්‍ර. උෂ්ණත්වය මැනීමේ ශතාංශක ක්‍රමය ; සෙල්සියස් පරිමාණය.

සැන්ටිමීටර්

නා.ප්‍ර. දිග මැනීමේ ශතාංශක ක්‍රමය ; මීටරයෙන් සියයෙන් පංගුව.

සැන්ඩ්විච්

නා.ප්‍ර. බටර් ගෑ පාන් පෙති දෙකක් මැදට මස්, මාළු, එළවළු ආදිය යොදා සාදාගනු ලබන කෑම විශේෂය.

සැන්තෑසිය

(කථා.) නා. නඩු තීන්දුව.

සැන්තින්

(පාරිභා.) නා.ප්‍ර. 1. මල්වල තිබෙන කහපාට ද්‍රව්‍යය.
2. මාංශපේශි ආදියෙහි තිබෙන සුදුපාට ද්‍රව්‍යයක්.

සැන්තින්ධරය

(පාරිභා.) නා. කහපාට වර්ණකයක් සහිත ව හමෙහි තිබෙන සෛලයක්.

සැන්තේට

(පාරිභා.) නා.ප්‍ර. සැන්තික් අම්ලයේ ලවණ.

සැන්තොපිල්

(පාරිභා.) නා.ප්‍ර. සාමාන්‍යයෙන් හරිත ශාක වල ඇති කහපාට වර්ණකයක නාමය.

සැනේට්

නා.ප්‍ර. පොදු ජන ඡන්දයෙන් නොව, යම් ප්‍රභූ තත්ත්වයක් හේතුකොට ගෙන පත් වන මන්ත්‍රීන්ගෙන් සමන්විත දේශපාලන ආයතනය ; උත්තර මන්ත්‍රී සභාව ; උත්තර මන්ත්‍රී මණ්ඩලය.

සැනේට් මන්ත්‍රී

නා.ප්‍ර. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සභිකයා ; සෙනෙට් සභිකයා ; උත්තර මන්ත්‍රී.

සැනොන්

නා.ප්‍ර. වාතයේ අඩංගු ඉතා අඩු වශයෙන් 1%ක් පමණ පවතින වායුවක්.