සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1795

සැඟි මැස්ම

(පාරිභා.) නා. මැහුම් පාරවල් පිටට නොපෙනෙන සේ මහන මැස්ම.

සැටපැය

නා. සිංහල කාල මිනුම් ක්‍රමය අනුව පැය හැටක කාලය.

සැට්ටය

නා. උඩුකයට අඳින ඇඳුමක් ; විශේෂයෙන් කාන්තාවන් සාරිය, ඔසරිය, රෙද්ද, සාය ආදිය ඇඳීමේ දී උඩුකයට ගැළපෙන සේ සකස් කර ගන්නා ඇඳුම ; හැට්ටය.

සැට්ටරා

නා. මැණික් කපන්නා ; සංස්ථානය කරන්නා.

සැට්ටසන්නාහ

නා.ප්‍ර. සෙබළුන් උඩුකය වසා හඳින සන්නාහය ; යුද්ධ හැට්ටය ; කඤ්චුකය.

සැටිනට්

නා.ප්‍ර. රෙදි වියමන් මෝස්තරයක් ; කඩහිරි ක්‍රමයේ වියමන.

සැටින්

1. නා.ප්‍ර. විශේෂයෙන් කාන්තා ඇඳුම්වලට ගනු ලබන, එක් පැත්තක පමණක් දිස්නය සහිත රෙදි වර්ගයක්.
2. හරස් නූල සැඟවී සිටින පරිදි කළ වියමනක්.
3. මල්පෙති, කොළ ආදිය පිරවීම සඳහා යොදන විසිතුරු මැස්මක්.

සැටින්ඩ්රිල්

නා.ප්‍ර. විශේෂයෙන් පිරිමින්ගේ ඇඳුම් කට්ටල මැසීමට ගන්නා හරහට සැටින් වියමන ඇති මඳ වශයෙන් දිලිසීමෙන් යුක්ත රෙදි වර්ගයක්.

සැටිය

1. නා. ආකාරය ; ස්වභාවය ; විධිය.
2. පුටු කට්ටලයක, එක් අයකුට වැඩි ප්‍රමාණයක් හිඳගෙන සිටිය හැකි දිග පුටුව ; විසිත්ත කාමරයේ තබා ඇති දිග පුටුව.
3. කට පළල මැටි බඳුන් විශේෂයක්.

සැඩ

1. වි. දරුණු ; චණ්ඩ ; නපුරු ; රෞද්‍ර.
2. දැඩි ; තද ; වේගවත්.
1. නා.ප්‍ර. චණ්ඩියා.
2. සැඩොලා.

සැඩ කුණාටුව

(පාරිභා.) නා. මහත් වේගයෙන් හමා යන සුළඟ ; සාමාන්‍යයෙන් පැයට සැතපුම් 75ට වැඩි වේගයකින් හමා යන සුළග ; චණ්ඩ මාරුතය.

සැඩකර

නා.ප්‍ර. චණ්ඩ රශ්මිය ඇති තැනැත්තා වන සූර්යයා.

සැඩපලු

නා.ප්‍ර. අවුල් ව, එකට බැඳී ගෙතී ගිය හිසකෙස් ; එකට ගුලි වී එතී ගිය කොණ්ඩය.

සැඩි

1. වි. හැදීමක් නැති ; නොහික්මුණු ; අසංවර.
2. චණ්ඩ ; රෞද්‍ර ; දරුණු.
3. කුණු කසළ සහිත.
4. හැරදැමූ ; අත්හළ.

සැඩොල්

නා.ප්‍ර. චණ්ඩාල කුලය ; රොඩී කුලය.

සැඩොලා

නා. චණ්ඩාල කුලයට අයත් තැනැත්තා ; චණ්ඩාලයා ; රොඩියා.

සැණකෙළිය

නා. ක්‍රීඩා, නැටුම්, ගැයුම්, තරග ආදිය සහිත ව දින ගණනාවක් පවත්වන ප්‍රීති උත්සවය ; මේලාව.

සැණය

1. නා. ප්‍රීති උත්සවය ; සැණකෙළිය.
2. ක්ෂණය ; ඇසිල්ල ; මොහොත.

සැත

1. නා. ආයුධය ; අවිය ; ශස්ත්‍රය ; ශල්‍යකර්ම ආදියෙහි දී වෛද්‍යවරුන් භාවිත කරන ආයුධය.
2. ඇතුන් අසුන් ආදීන් සැරසීමට ගන්නා සන්නාහය.
3. කුඩය ; ඡත්‍රය.

සැතපුම

1. නා. යාර 1,760ක හෝ අඩි 5,280ක හෝ දුර ප්‍රමාණය ; මයිලය.
2. සැතපීම ; නිදාගැනීම.
3. සන්තර්පණය.

සැතපුම් කණුව

නා. මාර්ගයෙහි සැතපුමක දුර ප්‍රමාණය දැක්වීම සඳහා අදාළ ඉලක්කම සහිත ව ඒ ඒ තැන සිටුවා ඇති මිටි කණුව.

සැතපෙනවා

1. ක්‍රි. නිදා ගන්නවා ; නිදියනවා ; සයනය කරනවා ; හාන්සි වෙනවා.
2. විශ්‍රාම ගන්නවා ; ගිමන් හරිනවා.

සැත්කටුව

නා. ශල්‍යකර්ම සඳහා භාවිත කරනු ලබන උපකරණයක්.

සැත්කම

නා. ශල්‍ය කර්මය ; ශස්ත්‍ර කර්මය.