සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1798

සැමරුම

නා. යම් පුද්ගලයකු හෝ සිද්ධියක් හෝ සිහිපත් කිරීම ; සිහි කිරීම ; ස්මරණය.

සැම්පලය

නා. කිසියම් දෙයක ආකාරය ; මෝස්තරය ; ආදර්ශය ; නියැදිය ; මුල් ආකෘතිය.

සැමිටි

නා.ප්‍ර. යෂ්ටිය ; කසය ; (පහර දීමට) කෝටුව.

සැමියා

නා. ස්වාමිපුරුෂයා ; හිමියා ; වල්ලභයා ; විවාහපත් තැනැත්තා.

සැර

1. වි. තද ; දැඩි ; මෘදු නොවූ ; නපුරු.
2. අධික ; වේගවත් ; තදින්, වේගයෙන් ක්‍රියාකරන.
3. නහය, දිව ආදි ඉන්ද්‍රියවලට ඉසිලීමට අපහසු ; කටුක.
1. නා.ප්‍ර. සරය ; ඊය.
2. දිගු කල ; චිරාත් කාලය.
3. චර්යාව ; හැසිරීම.
4. සාරය.

සැර පහර

1. නා.ප්‍ර. ශර ප්‍රහාරය ; ඊයෙන් විදින පහර ; ඊ පහර.
2. තද පහර ; වේගවත් පහර.

සැර සෝපාන

නා.ප්‍ර. විදිනු ලබන ඊතලවලින් සෝපානයක ස්වරූපය මවන ධනු ශිල්ප විශේෂයක්.

සැරඟිකා

නා.ප්‍ර. වායු තෙරපීම මගින් ස්වර නංවන බටහිර වාද්‍ය භාණ්ඩයක් ; සර්පිනාව.

සැරද

නි. බොහෝ කලක් ජීවත් වේවා යන ආශීර්වාද අර්ථය ගෙන දෙන පදයක්.

සැරපරුෂ

වි. ඉතා නපුරු ; මෘදු බවක් නැති ; ක්‍රෑර ; දැඩි ; තද.

සැරමිටිය

නා. ඇවිදීමේ දී උපකාර කරගනු ලබන යෂ්ටිය ; බස්තම ; හැරමිටිය.

සැරයන්

නා.ප්‍ර. පොලිස් යුද ආදි හමුදාවල කනිෂ්ඨ නිලධාරි තනතුරු නාමයක්.

සැරව

නා. තුවාල පැසවීම නිසා එහි හටගැනෙන කහවන් උකු අපවිත්‍ර ද්‍රවය ; හැරව.

සැරව ගෙඩිය

නා. සැරව පිරී එකතු වීම නිසා හටගන්නා ගෙඩිය ; විස්පෝටය.

සැරවැරය

නා. සැරපරුෂ අන්දමින් කරන කථාව ; බැණුම් විලාසයෙන් කෙනකුට යමක් කීම ; තරවටුව ; තර්ජනය.

සැරසිල්ල

නා. අලංකාරය පිණිස සකස් කරන ලද දෙය ; අලංකාර කිරීම සඳහා වර්ණවත් කඩදාසි, විදුලි බුබුළු, විවිධ මල්, ගොක් කොළ, පහන් ආදිය උපයෝගී කරගෙන කරනු ලබන විචිත්‍ර සැරසීම.

සැරසිලි මැස්ම

නා. අලංකාරය පිණිස කරනු ලබන මැස්ම.

සැරසිලි මෝස්තර

නා.ප්‍ර. සැරසිලි සඳහා යොදාගනු ලබන චිත්‍ර රටා.

සැරසෙනවා

1. ක්‍රි. යම්කිසි කටයුත්තක් සඳහා සූදානම් වෙනවා.
2. අලංකාර ලෙස ඇඳපැලඳ ගන්නවා.

සැරහුන්

1. නා.ප්‍ර. අලංකාර කිරීම් ; සැරසිලි.
2. පිළියෙල වීම් ; සූදානම් වීම්.
3. (තුවාල) වෙළුම් පටි.

සැරි

1. වි. හැසිරීම් ඇති ; හැසිරුණු.
2. චාරිකා හා සම්බන්ධ ; ගමන්-බිමන් ඇති.
1. නා.ප්‍ර. සාරථියා ; රථාචාර්යයා ; රියැදුරා.
2. පිගාන.
3. භාජන වසන පියන හෝ මූඩිය.
4. චාරිකා.

සැරින් සැරේ

(කථා.) ක්‍රි.වි. වරින්වර ; විටින් විට.

සැරිය

1. නා. හැසිරීම ; චරියාව.
2. චාරිකාව ; ගමන.

සැරිසරනවා

ක්‍රි. සංචාරය කරනවා ; ඇවිදිනවා ; එහා මෙහා ගමන් කරනවා.