සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1799

සැරුම්

නා.ප්‍ර. ඇවිදීම ; සංචාරය ; ගමනාගමනය.

සැරේ

(කථා.) නා.ප්‍ර. වතාව ; මුරය ; වාරය.

සැල

1. නා. කට ලොකු භාජන විශේෂයක් ; හැළිය ; සැළිය.
2. ප්‍රමාදය ; පමාව.
3. ඉත්තෑවා.
4. ශාලාව ; හල.
1. වි. ප්‍රකට ; ප්‍රසිද්ධ.
2. සසල ; චංචල.

සැලකිල්ල

1. නා. අවධානය ; උනන්දුව.
2. බුහුමන ; ගෞරවය.

සැලකුම්

1. නා.ප්‍ර. සැලකීම ; කල්පනා කිරීම ; අවබෝධ කිරීම ; ප්‍රත්‍යවේක්ෂණය.
2. ගෞරවය ; සත්කාර ; ගරු කිරීම.

සැලකුම් නැණ

නා.ප්‍ර. ප්‍රත්‍යවේක්ෂා ඥානය ; ක්ලේශ පිළිබඳව සලකා බැලීම සඳහා ආර්ය පුද්ගලයන් සතු විසි එක් වැදෑරුම් නුවණ.

සැලගතු

වි. චංචල ස්වභාවය ඇති ; සසල ගතියෙන් යුත්.

සැලජ

වි. ලජ්ජා සහිත.

සැලදා

නා.ප්‍ර. සුවඳ ද්‍රව්‍ය අඹරන ගල.

සැලපලු

නා.ප්‍ර. කෙස් අග පැලීම ; හැඩපලු වීම.

සැලලිය

නා. තරුණිය ; යෞවනිය ; යොවුන් ලිය.

සැලසුම

1. නා. පිළිවෙළ ; ආකාරය ; යම්කිසි කාර්යයක් පිළිබඳව සකස් කරගන්නා දළ වැඩසටහන නොහොත් වැඩ පිළිවෙළ.
2. ක්‍රියාත්මක කිරීමට අදහස් කරන වැඩ පිළිවෙල ; ක්‍රියාමාර්ගය.

සැල්

1. වි. බර නැති ; ගුරුත්වයෙන් අඩු.
1. නා.ප්‍ර. ඇල් වී ; ශාලි ධාන්‍යය.
2. එරෙන මඩින් යුතු ස්ථානය.
3. පෘථිවිය නිර්මාණය වී ඇතැයි සැලකෙන තට්ටු තුනින් එකක්.

සැල් ඇමෝනියා

නා.ප්‍ර. සුදු කුඩු වශයෙන් පවතින රසායනික ද්‍රව්‍යයක්.

සැල්දරය

(කථා.) නා. රෙදිපිළි ආදිය දමන පෙට්ටිය.

සැල්දොලටයිල්

නා.ප්‍ර. ඇමෝනියම් කාබනේට්.

සැල්පත

නා.ප්‍ර. මඩ ගොහොරුව ; මඩවගුරු බිම.

සැල්පලි

නා.ප්‍ර. සැල්පත බ.

සැල්ම

නා. වංචලවීම ; සසලවීම.

සැල්ලැඩේ

(කථා.) නා.ප්‍ර. කෙඳිවලින් කළ දැල ; වැලි ආදිය හැලීමට ගන්නා දැල ; රැයිසිය.

සැල්වල්

(කථා.) නා.ප්‍ර. ප්‍රලාප ; නිරර්ථක කතාබහ ; පලක් නැති කතා.

සැල්වාසන්

නා.ප්‍ර. ආසනික් අඩංගු සංකීර්ණ රසායනික ද්‍රව්‍යයක් ; උපදංශ රෝගය සඳහා භාවිත කරන ලද ප්‍රතිකාරයක්.

සැල්හු

වි. සැහැල්ලු.

සැලැස්ම

1. නා. පිළිවෙළ ; ආකාරය.
2. කටු සටහන ; ප්ලෑනය.
3. යෝජිත ක්‍රියා මාර්ගය ; වැඩ පිළිවෙළ.