සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 192

අසඞ්ඛ්‍යාත

වි. සංඛ්‍යා විරහිත.

අසඞ්ඛාරික

වි. (අභි.) පූර්ව ප්‍රයෝගයෙන් හෝ පෙලඹවීමෙන් හෝ තොර.

අසඞ්ඛෙය්‍ය

1. නා. ගණන් කළ නොහැකි සංඛ්‍යාව; ප්‍රමාණ කළ නොහැකි ගණන.
2. නා. ප්‍රමාණ කළ නොහැකි දීර්ඝ කාල පරිච්ඡේදය.

අසඞ්ග

වි. නොඇලුණු.

අසඞ්ගත

වි. අයෝග්‍ය; අයුතු; නොගැළපෙන.

අසඞ්ගතිය

නා. අයෝග්‍ය බව; නොගැළපීම.

අසඞ්ගෘහිත

වි. ඇතුළත් නොවූ; අඩංගු නොවූ.

අසඟ

නා.ප්‍ර. අසංසර්ගය; වෙන් වීම; ඈත් වීම.

අසජ්ජනයා

නා. අසත්පුරුෂයා; අයහපත් තැනැත්තා; ගුණ ධර්මයෙන් හීන පුද්ගලයා.

අසඤ්චලිත

වි. නොසැලුණු; කම්පා නොවූ; අකම්පිත.

අසඤ්ජාත

වි. නොහටගත්; ජනිත නොවූ.

අසඤ්ඤ

වි. (අභි.) සංඥා (නාමස්කන්ධය) නැති.

අසඤ්ඤත

වි. නොහික්මුණු; සංවර නොවූ; අවිනීත.

අසඤ්ඤසත්තය

නා. (අභි.) නාමස්කන්ධ සතර නොමැති සත්ත්වයන්ගේ හෙවත් අසංඥ සත්ත්වයන්ගේ ලෝකය; රූපාවචර බ්‍රහ්ම ලෝකය.

අසඨ

වි. කපට නොවූ; අවඞ්ක.

අසත්

වි. සත්‍ය නොවන; අසත්‍ය; අතාත්වික; කල්පිත.

අසත් ගුණය

නා. අවිද්‍යමාන හෙවත් නැති ගුණය; ව්‍යාජ ගුණය; අගුණය; දුශ්චරිතය.

අසත් සම්භාවනාව

නා. ලාභ ප්‍රයෝජන තකා තමා තුළ නැති ගුණ ප්‍රකාශ කිරීම.

අසත්ක්‍රියා

නා.ප්‍ර. අයහපත් ක්‍රියා; නුසුදුසු ක්‍රියා; පාප ක්‍රියා.

අසත්දම

1. නා. අසත්‍ය ධර්මය; අසද්ධර්මය; මිථ්‍යා ධර්මය.
2. නා. මෛථුන ධර්මය; ග්‍රාම ධර්මය.

අසත්පථය

නා. අයහපත් මාර්ගය; වැරදි මාර්ගය.

අසත්ප්‍රාය

නා.ප්‍ර. අයහපත් දෙය; අයෝග්‍ය දෙය.
වි. අයහපත්; අයෝග්‍ය.

අසත්සමවාය

නා.ප්‍ර. අසත්පුරුෂයන් හා සමාගමය; නරක මිනිසුන් ඇසුරු කිරීම.

අසත්‍යය

නා. සත්‍ය නොවූව; බොරුව.