සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 517

කොටස

1. නා.ප්‍ර. බෙදා වෙන් කරන ලද ප්‍රමාණය; පංගුව; භාගය; කොට්ඨාසය.
2. (පාරිභා.) නා.ප්‍ර. සමාගමක ප්‍රාග්ධනයේ ස්ථිර හා නොබෙදිය හැකි පංගුව (=share).
3. (පාරිභා.) නා.ප්‍ර. ඡේදය; කාණ්ඩය.

කොටස් අධිමිල

(පාරිභා.) නා.ප්‍ර. මුල් අගයට හෙවත් නාමික අගයට වැඩි වෙළඳ අගයකට විකිණෙන කොටස් මිල.

කොටස් අවමිල

(පාරිභා.) නා. මුල් අගයට හෙවත් නාමික අගයට අඩු වෙළඳ අගයකට විකිණෙන කොටස් මිල.

කොටස් පත්‍රය

(පාරිභා.) නා. සමාගමක කොටස් අයිතිය පෙන්වීම සඳහා දෙනු ලබන සහතික පත්‍රය.

කොටස් ප්‍රාග්ධනය

(පාරිභා.) නා. වෙළඳ සමාගමක හෝ සමායතනයක හෝ කොටස්වලින් සෑදුණු ප්‍රාග්ධනය; කොටස් මූලධනය.(=share capital)

කොටස් මිල

(පාරිභා.) නා. වෙළඳ සමාගම් ආදියේ ව්‍යාපාර වස්තුවල මුල් අගය.

කොටස් වෙළඳපොළ

(පාරිභා.) නා. ව්‍යාපාර වස්තු හා කොටස් විකිණීමත් මිලට ගැනීමත් සිදුකෙරෙන වෙළඳපොළ (=share market).

කොටස්කරය

(පාරිභා.) නා. මිලට ගත් සමාගමක කොටස් සඳහා නියම සහතිකය නිකුත් කරන තෙක් දෙනු ලබන තාවකාලික ලියවිල්ල; කොට්ඨාස පත්‍රය. (=scrip).

කොටස්කරුවා

නා. (සමාගමක) කොටස් අයිති තැනැත්තා; පංගුකාරයා; හවුල්කාරයා.

කොටහළුව

1. (කථා.) නා. වැඩිවිය පැමිණීම; මල්වරවීම.
2. නා. මල්වරවීමෙන් පසු පවත්වන චාරිත්‍රානුකූල මංගල්‍යය; කොටහළු මඟුල.

කොටහෙරාළ

(කථා.) නා. (ධීව.) මාලු වෙන්දේසි කරන්නා.

කොටළුවා

නා. බූරුවකුට දාව අස්වෙළඹක කුසින් උපදින දෙමුහුන් සතා.

කොට්ට

(කථා.) වි. වියළි; ගුඩු වූ.

කොට්ට උරය

නා. කොට්ටය ආවරණය කිරීමට ගන්නා වැස්ම.

කොට්ටකිලංග

නා.ප්‍ර. තම්බා වියළා ගත් නොමේරූ තල් අංකුරය හෙවත් මොටෙයිය.

කොට්ටනුව

(කථා. දකුණු.) නා. ගොවිතැන් කළ නොහැකි කුඹුර.

කොට්ටපිළ

(කථා. මැද. ඌව.) නා. පැරණි නිවෙස්වල දොරපිළේ වාඩිවීම සඳහා මැටි බදාමයෙන් සාදන ලද දිග වේදිකා විශේෂය.

කොට්ටපොර

නා.ප්‍ර. කතිර කණු ආධාර මත රැඳවූ හරස් ලීයක් උඩ හිඳ එකිනෙකාට කොට්ටයෙන් පහර දෙන ක්‍රීඩා විශේෂයක්.

කොට්ටපොල්

නා.ප්‍ර. දිය සිඳී මදය වියළුණු පොල්; ගුඩු පොල්.

කොට්ටම

නා. හැට්ටය; කංචුකය.

කොට්ටය

1. නා. නිදා ගැනීමේ දී හිස තබා ගැනීම හා වාඩිවීම ආදියට භාවිත කරන මොළොක් භාණ්ඩය; බිම්බෝහනය.
2. නා. බඩුවල පොලිෂ් ගෑමට පුළුන් පුරවා තනාගත් කුඩා පොට්ටනිය; තුවාලයක් වේලීමට ඒ මතුපිට තබා බඳින පුලුන් තට්ටුව.
3. නා. ලී කොටය; අඩය.
4. (පාරිභා.) නා. යතු කැටයක මූණත ළඟින් සවිකර ඇති ගැටය.
5. (කථා.) නා. අඹ ඇටය.
6. නා. බළල්, කොටි ආදි සතුන්ගේ යටිපත්ලේ පිහිටා ඇති මොළොක් කොටස.

කොට්ටල් බද්ද

නා. මහනුවර සමයේ කර්මාන්තකරුවන් විසින් ගෙවිය යුතු බදු විශේෂයක්.

කොට්ටාරය

නා. ස්වාභාවික බලකොටුව.

කොට්ටෝරුවා

1. නා. ගස්වල බෙන සාදා බිජු ලන දැඩි හොටක් ඇති වර්ණවත් පක්ෂියෙක්.
2. නා. බලියාග, දෙවොල් ආදියෙහි ආවතේව කරන්නා.