සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 516

කොකා

1. නා. දීර්ඝ පාද, බෙල්ල, හොට යන අවයව ඇති ජලචර, මාංශ භක්ෂක පක්ෂියෙක්.
2. නා. බර එසවීමට පාවිච්චි කරනු ලබන යන්ත්‍රය; දොඹකරය; බක යන්ත්‍රය.
3. නා. තුවක්කුවක පිස්තෝලයක පතරොම ක්‍රියා කරවන කොක්කක් වැනි උපකරණය.

කොකා පෙන්වනවා

(කථා.) ක්‍රි. රැවටීමට හෝ වංචා ආදියට ලක් කරනවා; සමච්චලය සඳහා අත කොකෙකුගේ හැඩය දැක්වෙන ආකාරයට පෙන්වනවා.

කොකා මානනවා

(කථා.) ක්‍රි. වෙඩි තැබීමේදී තුවක්කුවේ කොකා ගැස්සීමට සූදානම් ව තුවක්කුව එල්ල කරනවා.

කොකාව

(කථා.) නා. ඔරුවක රුවල අකුළා නවතාලීමට දමන ලීය.

කොකැත්ත

නා. නැමුණු තලයක් ඇති පිහිය; කොකු පිහිය.

කොකිත

(කථා.) වි. ඇවිස්සුණු; කුපිත වූ.
1. නා.ප්‍ර. විහිළුව; කවටකම.
2. නා.ප්‍ර. විපර්යාසවූව; විකාරවූව.

කොකිත්ත

(පාරිභා.) නා. කුඩා කොක්ක.

කොකියනවා

1. (කථා.) ක්‍රි. වෙවුලනවා.
2. ක්‍රි. පොපියනවා.

කොකුමඟර

[කොකුම් + අඟරා]
නා. කුංකුමවලින් සාදා ගැනෙන ශරීරාලේපය.

කොකුමස්ස

නා. කොක්කක හැඩය ගත් පැරණි කාසි විශේෂයක්.

කොකුම්

නා. කුංකුම.

කොකේන්

නා.ප්‍ර. නිර්වින්දන ඖෂධයක් වන කොකා පත්‍රවල පවතින ඇල්කොලයිඩයක්.

කොකෝවා

1. නා.ප්‍ර. කරල් හට ගන්නා ඝර්ම කලාපික ගසක්; එහි ගෙඩි.
2. නා.ප්‍ර. එම කුඩුවලින් පිළියෙල කරගන්නා මිහිරි පානය.

කොචිනිල්

නා.ප්‍ර. දීප්තිමත් රතු සායම් වර්ගයක්; කුකුළු සායම්.

කොට

1. වි. කෙටි.
2. වි. උස් නොවූ; මිටි.
3. වි. නොකැපෙන; මුවාත නැති; මොට; ගෙවී ගිය.
1. නා.ප්‍ර. ගබඩා ගෙය; අටුව.
2. නා.ප්‍ර. විශාල ශක්තිමත් පවුරකින් වටකරන ලද ස්ථානය; කොටුව.
3. නා.ප්‍ර. හිවලා; සිඟාලයා.
1. නි. කල්හි; විට.
2. නි. ලෙස; සේ; වශයෙන්.

කොටඋඩ

1. ක්‍රි.වි. ලී කොට මත (රඳවා තැබීම).
2.(රුඪි) ක්‍රි.වි. අකර්මණ්‍ය ව; ක්‍රියා විරහිත ව; අක්‍රියව.

කොටගුළ

නා. ධාන්‍ය ආදිය හෝ වටිනා වස්තු සුරක්ෂිත කොට තැබීමට සැදූ ගෙය; ගබඩාව; කෝෂ්ඨාගාරය.

කොටනවා

1. ක්‍රි. ගසනවා; පහර දෙනවා.
2. ක්‍රි. අනිනවා.
3. ක්‍රි. තළනවා; කැබලි කරනවා; කුඩු කරනවා.
4. ක්‍රි. කපනවා; සිඳිනවා.
5. ක්‍රි. උදැල්ලෙන් පස් පෙරළනවා; කනිනවා; හාරනවා.
6. ක්‍රි. කොටා මිනිසුන් මරනවා.
7. ක්‍රි. ගල්, ලී, ලෝහ ආදියෙහි රූප හෝ අකුරු හෝ හාරා සටහන් කරනවා; කැටයම් කරනවා.
8. ක්‍රි. (කැලෑ) හපනවා; කනවා.

කොටය

(කථා) නා. කොට (දෑ) යන්නෙහි ඒක වචන රූපය; ගසකින් කපන ලද කොටස; දැව හෝ දර කුට්ටිය.

කොටරය

(පාරිභා.) නා. එක් කොනක් ක්‍රමයෙන් සිහින් වූ කුඤ්ඤ විශේෂයක්.(=cotter)

කොටරැකි

නා.ප්‍ර. ගබඩාගේ ආරක්ෂා කරන්නා.

කොටරැකිකම

1. නා. ගබඩාවක් ආරක්ෂා කිරීම.
2. නා. ධාන්‍ය මැනීමේ කටයුත්ත.
3. නා. වඩු කර්මාන්තය.

කොටවනවා

(කථා.) ක්‍රි. භේද කරවනවා; විරුද්ධ කරවනවා; බිඳවනවා.

කොටවැලි

නා.ප්‍ර. වගා කළ ගොඩ ඉඩම.