සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 518

කොට්ඨාසය

1. නා. භාගය; කොටස; පංගුව.
2. නා. රටක විමධ්‍යගත පාලනයට පහසුවන සේ රට බෙදා දක්වන කොටස්වලින් එකක්.

කොට්ඨාසිකය

නා. බෙදා ලැබෙන උත්තරය; ලබ්ධිය.

කොටා

1. නා. ශරීරාවයව කොට වූ තැනැත්තා; මිටි මිනිහා; මිට්ටා.
2. නා. අත් පා ආදිය කපනු ලැබූ තැනැත්නා.

කොටා බානවා

නා. (කමත්.) කෑම කනවා; ආහාර ගන්නවා; අනුභව කරනවා.

කොටාර

නා.ප්‍ර. ධන ධාන්‍ය, රන්රුවන්, මුතු මැණික් ආදිය රැස්කර තබන ගොඩනැගිල්ල; කෝෂ්ඨාගාරය; ගබඩාව; කොටගුළ.

කොටිකා

නා. වියළි පුවක් ගෙඩිය; කරුංකා ගෙඩිය.

කොටියා

1. නා. බළල් පවුලට අයත් ඉතා රෞද්‍ර මාංස භක්ෂක සිවුපා වර්ගය.
2.(කථා.) නා. නපුරු මිනිස්සු; අහිංසකයන් අමාරුවේ දමන්නෝ.

කොටිලය

(පාරිභා.) නා. ඇටයකින් නැඟුණු අංකුරයකට පොළොවෙන් ආහාර ඇද ගැනීමට හැකි වන තෙක් පෝෂණය ලබාදෙන බීජපත්‍රය; පියල්ල (=cotyledon).

කොටු

1. වි. සමචතුරස්‍ර.
2. වි. ගෙවී ගිය; මොට වූ; මුවාත නැති.
3. (කථා.) වි. කුඩා; පුංචි.
1. නා.ප්‍ර. මාලු අල්ලන තැනැත්නා.

කොටු පවුර

නා. යම්කිසි ස්ථානයක් ආරක්ෂා කිරීමට ඒ වටා බැඳි ප්‍රාකාරය; කොටු බැම්ම.

කොටුපත

නා. සිවුපාවුන් දඩයම් කිරීම සඳහා ඔවුන් යන එන මඟ කොළ අතු වලින් වසා සාදන කොටුව; දඩයක්කාරයා සැඟවී සිටින කොටු වූ ස්ථානය.

කොටුබැම්ම

නා. නගරාරක්ෂාවට බැඳි විශාල බැම්ම; ප්‍රාකාරය.

කොටුව

1. නා. වී ආදිය රැස්කර තබන ගබඩාව; වටිනා වස්තුවක් තැන්පත් කර තබන ආරක්ෂක ස්ථානය, කෝෂ්ඨාගාරය.
2. නා. දිය ඔරුව; ද්‍රෝණිය.
3. නා. ගොවිතැන් හෝ (ඇති කරන) සතුන් රැක ගැනීම සඳහා වට කළ හා ආවරණය කළ ස්ථානය.
4. නා. පවුරකින් වටකරන ලද ආරක්ෂක ස්ථානය; බලකොටුව.
5. නා. අල්ලිය; සමචතුරස්‍රය.

කොඩ

1. නා.ප්‍ර. බාහු මූලය; උරහිස.
2. නා.ප්‍ර. ඌරා
3. නා.ප්‍ර. කිරි එළදෙන.

කොඩ වෙනවා

(කථා.) ක්‍රි. පැළෑටියක වැඩීම බාල වී කොළ වකුටු වී යනවා; කේඩෑරි වෙනවා; මෙට්ටැහි වෙනවා.

කොඩි කුඹය

නා. කොඩි ඔසවා බැඳ තබන කණුව; ධ්වජ යෂ්ටිය.

කොඩි ගස

1. නා. කොඩි කුඹය; කොඩිය ඔසවා බැඳ තබන ලීය.
2. නා. දුම්රියට සංඥා දීම සඳහා දුම්රිය මාර්ගය අසල තනා ඇති සංඥා කණුව; සිග්නල් කණුව.

කොඩිය

නා. ධ්වජය; පතාකය.

කොඩිල්ල

(කථා.) නා. පැළ කළ හැකි කරටිය හෝ මොටෙයියා.

කොඩිවිනය

නා. කෙනෙකුට විපතක් කිරීම සඳහා කරන මන්තර ගුරුකම්; මන්තර බලයෙන් කරන සූනියම.

කොඩිසිල් පත්‍රය

නා. (නීති.) අන්තිම කැමති පත්‍රය සංශෝධනය කරමින් හෝ අවලංගු කරමින් පසු ව කරන එකතුව; ඌනපූර්ණය.

කොඩොක්කුව

1. නා. ඉණ; උකුළ; ඔඩොක්කුව.
2. නා. අලංකාරය පිණිස ඉණ වටා වස්ත්‍රයක තබන රැල්ල.

කොණ්ඩ කටුව

1. (කථා.) නා. හිසකෙස් සකසා අලංකාරයට ඒ මත කටු විශේෂයක්.
2. නා. කොණ්ඩේ ගැටයක් කොට බැඳ නොලිහෙන සේ තබා ගැනීම පිණිස ගසන කටු විශේෂය; හර්නල් කටුව.

කොණ්ඩ කැවුම

නා. කොණ්ඩයක ආකාරයෙන් මැද උඩට නෙරා පවතින සේ තෙලෙන් බැද ගන්නා දේශීය කැවිලි වර්ගයක්.

කොණ්ඩ මාල

නා. ස්ත්‍රීන්ගේ කේශකලාපයෙහි පලඳින ආභරණ විශේෂයක්.