සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 519

කොණ්ඩය

1. නා. කෙස් වැටිය; කේශ කලාපය.
2. නා. කෙස් වැටිය එක් කොට හිසෙහි බැඳි ගුටිය; හිසෙහි කෙස් එක් කොට බඳින ගැටය.
3. නා. ඇතැම් පක්ෂීන්ගේ හිසෙහි පිහාටු රොද.

කොණ්ඩායම

නා. ඇතුන්ට පලඳවන ආභරණ විශේෂයක්; ඇත් දළයට සවි කරන කොපුවේ එල්ලනු ලබන සැරසිල්ලක්.

කොණ්ඩාරම

නා. හිස හෝ අත් බිම තබා වටයක් කැරකීමෙන් ගසන පිනුම් විශේෂයක්.

කොණ්ඩිත්තම

නා. උඩ පැත අහසේ දී ම වටයක් කැරකීම විශේෂ කොට ඇති පිනුමක්.

කොණ්ඩිපට්ටම

නා. ඉබි යතුරක් දැමීමට දොර, පෙට්ටගම් ආදියට සවි කරන ලෝහ පට්ටම් කැබැල්ල හා පුඩුව.

කොණ්ඩිය

1. නා. බීජයක් පැළවීමේ දී එයින් ඉහළට ඇදෙන ගිරිය; මොටියා; මොටෙයිය.
2. නා. කොණ්ඩිපට්ටමේ සිදුර සහිත කොටස: කොක්ක.

කොණ්ඩු ගහනවා

ක්‍රි. කකුලක් උස්සාගන පැන පැන යනවා; එක කකුලක් හරියට බිම නොතබා ඇවිදිනවා; කුන්දු ගහනවා.

කොණ්ඩුව

1. නා. ගස් ආදියෙහි මුදුන; මස්තකය.
2. නා. කුණ්ඩුව.

කොඬ

1. නා. කොණ්ඩය.
2. නා. උරහිස.
3. නා. ගුළිය.

කොඬල

නා.ප්‍ර. ශරීරයෙහි සෑදෙන ඉනිගැට වැනි චර්මකීල විශේෂයක්.

කොඬවර

නා.ප්‍ර. ගොඩනැගිලි ආදියේ ආරක්ෂාව සඳහා බඳින ලද කුඩා පවුර; තාප්පය.

කොඬස

නා. සිරුරෙහි අත පටන් ගන්නා ස්ථානය; බාහු මූලය; දසරුව; උරය.

කොඬොල්

1. නා.ප්‍ර. කනෙහි පලඳින ආභරණ විශේෂයක්; කුණ්ඩලාභරණය.
2. නා.ප්‍ර. නාගයා; දිව්‍යනාගයා.
3. නා.ප්‍ර. හැකිළීම; නැමීම.
4. නා.ප්‍ර. වැල් අල වර්ගයක නාමය.

කොඬොලිඳු

නා.ප්‍ර. නාගයන්ගේ අධිපතියා; නාගලොවට නායකයා; අනන්ත නම් නාගරාජයා.

කොත

1. නා. කොඩිය; ධජය; ද්වජය.
2. නා. ස්තූපයක කොත් කැරැල්ල මුදුනේ සවි කරනු ලබන කේතුව; කුන්තය.
3. නා. ගෘඞ්ගයක ස්වරූපය ඇති දෙය.
4. නා. මුදුන මස්තකය.

කොත ගසනවා

ක්‍රි. කොතක් මෙන් මුදුන් ව සිටින සේ පුරවනවා.

කොතත

[කොත් + අත]
නා. කුන්තයක් අතින් දරා සිටින්නා; ස්කන්ධ කුමාරයා; කඳකුමරු.

කොතබුගල

නා. කොතබුමිණ.

කොතමිණ

1. නා. චන්ද්‍රකාන්ත මාණික්‍යය; සඳකැන් මිණ.
2. නා. ස්ඵටික මාණික්‍යය; පළිඟුමිණ.
3. නා. සූර්යකාන්ත පාෂාණය.

කොතලන්ගවැල

නා. ඇට විශේෂයක් අමුණා තනන ලද කාන්තා ගෙල පලඳනාවක්.

කොතවි

නා.ප්‍ර. කුන්තායුධය.

කොතළය

නා. ජලය බහාලීම සඳහා භාවිත වන කෙමියක් සහිත මැටියෙන් තනන ලද බඳුන් විශේෂයක්.

කොත් කරනවා

ක්‍රි. කපා ගන්නා ලද ගොයම් කොතක හැඩයට සිටින සේ ගොඩ ගහනවා.