සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 520

කොත් පලඳවනවා

1. ක්‍රි. දාගැබ් මුදුනක කොතක් උත්සවාකාරයෙන් තැන්පත් කරනවා.
2. ක්‍රි. ප්‍රාසාද ආදිය කොත්වලින් අලංකාර කරනවා.

කොත් බිබිළ

නා. ප්‍රාසාදයක මුදුනේ කොත සවි කෙරෙන ගෝලාකාර පල කොටස; කොත තබන කපාලය; කැණි කබල

කොත් මඟුල

(පාරිභා.) නා. චෛත්‍යයක කොත් පැලඳවීම නිමිත්තෙන් පවත්වනු ලබන උත්සවය.

කොත්කන්ද

(පාරිභා.) නා. ක්‍රමයෙන් හීන් වෙමින් නැඟී අවසානයේ දී කොතක හැඩය ගන්නා කන්ද (=conical hill).

කොත්කැරැල්ල

නා. බෞද්ධ ස්තූපයක හතරැස් කොටුවට ඉහළින් කොත දැරීම සඳහා පවතින කේතු ආකාර කොටස; මාලිගා ප්‍රාසාද ආදියෙහි වහල මුදුනේ (අලංකාරය පිණිස) සවි කැරෙන කේතුව.

කොත්ත

(කථා.) නා. බුහු ගැහීමේ දී පොල් කෝම්බ දෙක උඩ හරහට තබන ලී කැබැල්ල; මට්ටය.

කොත්තු කරනවා

1. ක්‍රි. පිහි, ඇණ ආදි දෙයකින් හාරනවා; සිදුරු කරනවා.
2. ක්‍රි. අවුස්සනවා.
3. ක්‍රි. උලාකනවා; ලෑටි ගානවා.

කොත්තු විලක්කුව

(කථා.) නා. පහන්වැටි රාශියක් දැල්විය හැකි වන පරිදි තැනුණු උස පිත්තල පහන; කුරු කඳ පහන.

කොත්තුව

1. නා. සහල් ආදි ධාන්‍ය වර්ග මනින මිම්මක්; සේරුවෙන් හතරෙන් පංගුව; සේරුකාල; හුණ්ඩුව.
2.(කථා. උඩ.) නා. හුණ්ඩු හතර; සේරුව; නැළිය.
3. නා. සමූහය; පොකුර; ආවලිය.
4. නා. රොටී ආදි පිටි මිශ්‍රණ, එළවළු, මස්, මාලු, බිත්තර ආදිය කලවම් කොට සකස් කරන ක්ෂණික ආහාර විශේෂයක්.

කොත්මල්

නා.ප්‍ර. බුදුරදුන්ගේ සිරසින් විහිදී වඩු රියනක් පමණ උඩට නැඟී බබළන රැස් වළල්ල; කේතුමාලාව.

කොත්මහල

(පාරිභා.) නා. ගොඩනැඟිල්ලක් මත එහි කොටසක් වශයෙන් උස් කොට තනන ලද හතරැස් වූ හෝ වට වූ හෝ කොතක් වැනි කොටස (=turret).

කොතායුද

1. නා.ප්‍ර. කුන්තායුධය.
2. නා.ප්‍ර. කොතලයක් අතින් දරන්නා; කතරගම දෙවි; කඳකුමරු.

කොතු

නා.ප්‍ර. සිනාව.

කොතුරු

1. නා.ප්‍ර. කොතළය; කලස.
2. නා.ප්‍ර. මලක කෙමිය; පුෂ්පකර්ණිකාව.
3. නා.ප්‍ර. කුණ්ඩලාභරණයක එල්ලා ඇති කුඩා කලසක් වැනි කොටස; ඔරලි අත්ත.

කොතුරුගානා

නා.ප්‍ර. ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිරිත් පැන් වැඩීමේ එනම් කොතුරු දැරීමේ රාජකාරිය භාරව සිටින්නන්ගේ නායකයා.

කොතුරුපක්

නා.ප්‍ර. කණු මුදුන් වල සවිකර ඇති කලසක් වැනි කොටස; කලසක හැඩය ගත් කුලුනු හිස; ඝටාකාර පේකඩ.

කොතෙක්

ක්‍රි.වි. කොතරම්; කොපමණ.

කොදිච්චි වෙනවා

(කථා.) (ක්‍රි.) වතුර හොඳින් උණු වෙනවා; ද්‍රවයක් උණු වී නටන්නට පටන් ගන්නවා.

කොදිව්

නා.ප්‍ර. කුඩා දිවයින; දූපත.

කොදු

නා.ප්‍ර. එළු ලොමින් කළ පලස; කොඳු පලස.

කොන

1. නා. පැති දෙකක් එකට එක්වීමෙන් සෑදෙන කෝණය; මුල්ල
2. නා. කෙළවර; අග; අන්තය.
3. නා. දිශාව; පැත්ත.

කොනහනවා

1. ක්‍රි. කොනිත්තනවා; නියපොතු ගහනවා.
2. ක්‍රි. කෙනෙහිලි කම් කරනවා; පීඩා කරනවා.

කොන් කරනවා

1. ක්‍රි. අයින් කරනවා; වෙන් කරනවා.
2. ක්‍රි. ඇසුරෙන් ඉවත්කරනවා; ඈත් කරනවා.

කොන්ක්‍රීට්

නා.ප්‍ර. සිමෙන්ති, කළු ගල් කැබලි සමග වැලි අනුපාතයට මිශ්‍ර කොට වතුරෙන් අනා තනා ගනු ලබන ශක්තිමත් ඝන මිශ්‍රණය; බදාමය.