සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 547

ගඩපොළ

නා. ශරීරයේ හටගන්නා විසප්පු ගෙඩිය.

ගඩබුවා

නා. කොටළුවා; ගද්‍රභයා.

ගඩවිලා

නා. තෙතමනය ඇති තැන්වල පොළොව තුළ වාසය කරන පණුවෙක්; ගැඩවිල් පණුවා.

ගඩ්ඩරිකාව

නා. බැටළු රංචුව ගමන් කරන විට ඉදිරියෙන් ම යන බැටළු දෙන.

ගඩාගෙඩි

1. නා.ප්‍ර. ලොකු කුඩා පලතුරු; පලවැල; ඵලාඵල.
2. (කථා.) නා.ප්‍ර. පුවක් ගෙඩිය.

ගඩු නඟනවා

ක්‍රි. සම මතුපිට සිහින් බිබිලි මතුවෙනවා; හී ගඩු මතු වෙනවා.

ගඩුගුඩා

1. නා.ප්‍ර. බිම තබා දුම් උරන දිග නළයක් සහිත ලොකු පයිප්පය.
2. (කථා.) නා.ප්‍ර. පලතුරු විශේෂයක්.

ගඩුව

1. නා. ගෙඩිය; ගණ්ඩය; විසප්පුව.
2. නා. (මස්) කැටිය; (මස්) කුට්ටිය; (මස්) වැදැල්ල.
3. නා. සමහර පැලෑටි කොළවල සහ තිරිඟු කරල්වල නගින ගැටවැනි දෙය.
4. නා. අණ්ඩ කෝෂය.

ගඩොල

නා. අච්චුවේ කපා ගින්නෙන් පුළුස්සා ගත් හෝ අව්වෙන් වියළා ගත් හෝ මැටි පිඬුව; ගඩොල් කැටය.

ගණ රූප

නා.ප්‍ර. පැරණි ගල් කැටයම් ආදියේ නිරූපිත කුරු මිනිසුන්ගේ රූප; වාමන රූප.

ගණ ලහස්ස

නා. ගණයක් හෙවත් සමූහයක් විසින් සම්මත ලාහේ / නැළි හතරේ මිම්ම.

ගණ වාචකයා

නා. ගණයකට හෙවත් භික්ෂු සමූහයකට ධර්ම ශාස්ත්‍ර හදාරවන පැවිදි ගුරුවරයා; ගණාචාර්යවරයා.

ගණ වාසී

(පාරිභා.) වි. සමූහ වශයෙන් වසන; රංචු වශයෙන් ජීවත් වන; පොදි ගැසී වෙසෙන.

ගණ සංකේතය

(පාරිභා.) නා. ගණිතමය පරිපාටිය හෝ පිළිවෙළ දක්වන ලකුණ.

ගණ සංගණිකාව

1. නා. (භික්ෂු ශීලයට අහිතකර වූ) සමූහයා කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම; සමූහ වශයෙන් වාසය කිරීම.

ගණඇදුරු

නා.ප්‍ර. (භික්ෂු තාපස ආදින්ගේ) සමූහයකට ගුරු ව සිටින තැනැත්තා; ගණාචාර්යවරයා.

ගණක චතුරශ්‍රය

නා. ගණන් කිරීම සඳහා බෝල පබළු ඇමුණූ කම්බි පේළි සහිත රාමුව; ඇබකසය.

ගණකඇමති

නා.ප්‍ර. රාජ්‍ය භාණ්ඩාගාරයේ අයවැය භාර ව සිටින ඇමති; රාජ්‍ය ගිණුම් භාර ඇමති.

ගණකය

නා. ගණනය සඳහා භාවිත යන්ත්‍රය; ගණන් බලන යන්ත්‍රය (=calculator).

ගණකයා

1. නා. ගණන් තබන නිලධාරියා; ගිණුම් භාර නිලධරයා; භාණ්ඩාගාරිකයා.
2. නා. ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා.
3. නා. ක්‍රීඩා තරගවලදී ක්‍රීඩකයන්ගේ ලකුණු ලේඛනගත කරන්නා.

ගණකවිද්‍යාව

(පාරිභා.) නා. ගණන් තැබීම පිළිබඳ ශාස්ත්‍රය; ගිණුම් ශාස්ත්‍රය (=accountancy).

ගණකාචාර්යයා

නා. ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා; දෛවඥයා.

ගණකාධිකරණය

නා. ගණන් හිලව් තැබීමේ ශිල්පය.

ගණකාධිකාරි

නා.ප්‍ර. මූල්‍ය කටයුතු පිළිබඳ කළමනාකරණය හා පරිපාලනය භාර ව සිටින්නා; ගිණුම් පිළිබඳ භාරකාරත්වය දරන නිලධරයා (=accountant).