සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 624

චක්ෂු විෂය

1. නා. ඇසට පෙනෙන දේ; ඇසට අරමුණුවන රූපාදිය.
2. නා. ඇසට පෙනෙන ප්‍රමාණය; පෙනෙන තෙක් මානය.

චක්ෂුඃපථය

නා. ඇසට පෙනෙන දුර ප්‍රමාණය; පේනතෙක් මානය; දෘෂ්ටිපථය; චක්ෂුපථය.

චක්ෂුගෝචර

වි. ඇසට පෙනෙන; ඇසට ගොදුරු වන.

චක්ෂුතාරාව

නා. ඇසෙහි බබා; කළු ඉංගිරියාවෙහි මැද පිහිටි කුඩා කවය.

චක්ෂුද්වාරය

නා. (අභි.) ඇස නැමැති දොරටුව; දකින වස්තු පිළිගන්නා ඇස නමැති දොරටුව.

චක්ෂුප්‍රසාදය

නා. (අභි.) රූප දැකීම සඳහා ඇසට උපකාර වන ඔපගතිය.

චක්ෂුඵලය

නා. දකින දෙය; ඇසට ප්‍රිය වූ දෙය.

චක්ෂුර් විඥානය

නා. චක්ඛු විඤ්ඤාණය.

චක්ෂුර්ගෝලය

නා. ඇස්ගුළිය; අක්ෂිගෝලය.

චක්ෂුරික්ෂය

[චක්ෂුර් + ඊක්ෂය]
නා. ඇසෙහි අභ්‍යන්තරය පරීක්ෂා කරන උපකරණය.

චක්ෂුරින්ද්‍රිය

නා. චක්ඛුන්ද්‍රිය.

චක්ෂුස

නා. ඇස.

චක්‍ර යන්ත්‍රය

නා. කරකවා තෙල් යුෂ ආදිය මිරිකා ගන්නා යන්ත්‍රය; සෙක්කුව.

චක්‍ර යානය

නා. රෝද සහිත රථය; රෝද කරත්තය.

චක්‍ර රත්නය

නා. සක්විති රජුට පහළ වෙතැයි සැලකෙන අහසින් ගමන් කරන මහානුභාව ඇති රත්නයක් වූ චක්‍රය; සක්රුවන.

චක්‍ර ලක්ෂණය

නා. බුදුරජාණන් වහන්සේගේ යටිපතුල් මැද පිහිටි රෝදයක ලකුණ; දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකකි.

චක්‍ර වාතය

නා. භ්‍රමණය වන වාතය; සුළිසුළඟ.

චක්‍ර වෙඩිල්ල

නා. කරකැවෙමින් ඇවිලෙන මල්වෙඩිල්ල.

චක්‍රධර

නා.ප්‍ර. චක්‍රපාණි; චක්කපාණි.

චක්‍රනාදය

නා. රෝදවලින් නැඟෙන හඬ; සක්හඬ; චක්‍රධ්වනිය.

චක්‍රනාභිය

නා. බොස්ගෙඩිය; සක්නැබ.

චක්‍රපාද

නා.ප්‍ර. වට වූ පා ඇත්තා; ඇතා.

චක්‍රබ්‍යුහය

නා. යුද්ධයේ දී චක්‍රාකාර ව භට සේනා රඳවන එක් ක්‍රමයක්; චක්‍රාකාර සේනා සංවිධානය.

චක්‍රමාලාව

1. නා. උරචක්‍රමාලාව.
2. නා. රියසක් සමූහය.