සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 625

චක්‍රය

1. නා. රථ රෝදය; රියසක; රෝදය.
2. නා. වටය; කවය; වළල්ල.
3. නා. විසිකර පහර දෙන වෘත්තාකාර ආයුධයක්; චක්‍රායුධය.
4. නා. නැවත නැවත සිදු වන සිද්ධි මාලාව.
5. නා. ස්වාභාවික සිද්ධි ක්‍රියාසිද්ධි ආදිය කලින් කල නැවත ඇති වීමේ පටිපාටිය; මුල් තත්ත්වය යළි යළි ඇති කරවන ක්‍රියාවලිය.
6. නා. ක්‍රමානුකූලව සකස් කරන ලද තොරතුරු, කරුණු, ගණන් ආදියේ ලැයිස්තුව.
7. නා. සමූහය; පිරිස; හමුදාව.
8. නා. සංගීත තාල ප්‍රභේදයක්.

චක්‍රලේඛනය

නා. පොදු නියමයක් / දතයුත්තක් පිරිසකට දන්වා නිකුත් කෙරෙන නිල දැන්වීම.

චක්‍රවර්ති

1. නා.ප්‍ර. සක්විතිරජ.
2. නා.ප්‍ර. අධිරාජ්‍යා; මහීපාලයා.

චක්‍රවර්ති කෝලාහලය

නා. සක්විති රජෙකු පහළවීමට වසර සියයකට පෙර දෙවියකූ මිනිස් ලොවට පැමිණ සක්විති රජකු පහළ වන බව ප්‍රකාශ කරමින් කරන ඝෝෂාව.

චක්‍රවර්තිවත්

නා.බහු. සක්විති රජකු විසින් පැවතිය යුතු ක්‍රම ශිලාදි කොට ඇති දස සක්විති වත්.

චක්‍රවාක

1. නා.ප්‍ර. ජලචර පක්ෂියෙක්; සක්වාළිහිණියා.
2. නා.ප්‍ර. පද්‍ය වෘත්තයක්.

චක්‍රවාට පර්වතය

නා. එක් සක්වළක සීමාවෙහි ඇතැයි සැලකෙන කල්පිත කඳුවැටිය; සක්වළ පවුව.

චක්‍රවාටය

නා. සක්වළ එක් සූර්ය හා චන්ද්‍ර මණ්ඩලයක ආලෝකය පැතිරෙන ප්‍රමාණයේ ලෝක ධාතුව.

චක්‍රවාලය

1. නා. චක්‍රවාට පර්වතය.
2. නා. සක්වළ.

චක්‍රාකාර

වි. චක්‍රයක හැඩය ඇති; රවුම් හැඩයෙන් යුත්, පරිවර්තිත ව කලින් කල එළඹෙන; වළයාකාර.

චක්‍රායුධය

[චක්‍ර + ආයුධය]
1. නා. විෂ්ණු දෙවිඳුගේ චක්‍රකාර ආයුධය.
2. නා. මාරයාගේ ආයුධය; පාරාවළල්ල.

චක්‍රාරය

(පාරිභා.) නා. දණහිස් කටුව; දණපොල්කට්ට (=oesophagus).

චක්‍රින්

1. නා.ප්‍ර. චක්‍රයක් දරන්නා; විෂ්ණුදෙවි.
2. නා.ප්‍ර. සක්විති රජු.
3. නා.ප්‍ර. කුඹලා.
4. නා.ප්‍ර. තෙල් සිඳින්නා.
5. නා.ප්‍ර. විජ්ජාකාරයා.

චකිත

වි. තැතිගත්; බියපත්; සැලුණු; කැලඹුණු.
1. නා.ප්‍ර. තැතිගැන්ම; බිය;සැලීම.
2. නා.ප්‍ර. සැකය; ශංකාව.

චකිත මුදල්

(පාරිභා.) නා.ප්‍ර. රටකින් තවත් රටකට සිදුවන කෙටිකාලීන ප්‍රාග්ධන සංචලනය.

චකෝර

නා.ප්‍ර. ඇටිකුකුළා.

චඞ්කමන

1. නා.ප්‍ර. සක්මන් කිරීම; ඔබ මොබ ගමන් කිරීම.
2. නා.ප්‍ර. සක්මන් කිරීමට තැනූ බිම් තීරය; සක්මන් මළුව.

චච්චර

නා.ප්‍ර. සතරමංසන්ධිය; සිවුමංසල.

චඤ්චල

1. වි. සෙලවෙන; සැලෙන; සසල වන.
2. වි. වෙනස් වෙන; අස්ථිර.

චඤ්චලදේපල

නා.ප්‍ර. එහා මෙහා කළ හැකි දේපළ; නිශ්චල නොවන දේපළ.

චඤ්චලය

1. නා. චපලබව; නුසුදුසු ක්‍රියා කරන බව.
2. නා. කැලඹීම; සසලවීම.

චඤ්චලාව

1. නා. විදුලිය.
2. නා. ශ්‍රී කාන්තාව.

චඤ්චුව

1. නා. පක්ෂියකුගේ තුඩ; හොට.
2. (පාරිභා.) නා. තරල පහරක් විදීමට ගන්න තුඩ (=jet).

චටක

නා.ප්‍ර. ගේ කුරුල්ලා.