සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 769

තුලනායතනය

නා. (ආර්ථි.) වෙනස් බැංකුවලට අයත් චෙක්පත්වල මුදල් මාරුකිරීම් සිදුකරන ආයතනය; නිෂ්කාසනාගාරය.

තුලනාව

නා. සැසඳීම; සමාන කිරීම.

තුලනිගය

නා. කපු පුළුන් හෝ ගෝස් රෙදි ආදියෙන් තැනූ ඇබය.

තුල්

වි. මහා; විශාල; තර; ස්ථූල.

තුල්ල

1. වි. මහා; විශාල; තර.
2. වි. සමාන; සදෘශ.

තුල්හිරු

නා.ප්‍ර. අනංගයා; මල්සරා.

තුල්‍යකරණය

නා. දත්තයක උපකාරයෙන් අඥාතයක අගය සොයා ගැනීම සඳහා එකින් එක සමාන ලකුණකින් සම්බන්ධ කර සාදා ගනු ලබන ගණිත ප්‍රකාශය; සමීකරණය.

තුල්‍යකුලක

(පාරිභා.) නා.බහු. සමාන අවයව ඇති කුලක. (=equivalent sets).

තුල්‍යජාතීය

වි. සමාන ප්‍රභව ඇති; ව්‍යුහය අතින් අනුකූලතාව දක්වන.

තුල්‍යය

1. නා. වස්තුවක් වෙන වස්තුවක් වැනි යැයි හැඟවීමට භාවිත කරන සංකේතය; සමානබව දැක්වීමේ ලකුණ.
2. නා. සමාන වූ දෙය.

තුල්‍යයෝගය

1. නා. (ව්‍යාක.) එක ම ක්‍රියා පදයකින් ප්‍රකාශ වෙන අසම්බන්ධ පද 'සහ' යන්නෙන් හෝ අව්‍ය පදයකින් හෝ එක්කොට දැක්වීම.
2. නා. අසමාන වස්තූන් සමාන කොට දැක්වීම.

තුල්‍යවාදය

නා. සමානය යන කීම; සමානතාව ගැන ප්‍රකාශ කිරීම.

තුල්‍යාර්ථ

වි. (ව්‍යාක.) සමාන තේරුම් ඇති; සමාන අර්ථ ඇති.

තුලා කටුව

නා. තරාදි දණ්ඩෙහි මැද පිහිටි එහි සමතුලනය පෙන්නුම් කරන තුඩ.

තුලා කෝෂ්ඨය

නා. අවකාශයේ පවත්නා චලනාදිය දැනගැනීමට (ඇතැම් සතුන්ගේ) සිරුරෙහි පවත්නා කෝෂාකාර සංතුලන අවයවය.

තුලා චක්‍රය

නා. කුඩා ප්‍රමාණයේ ඔරලෝසුවල ගමන් වේගය පාලනය කරන අවයවය.

තුලා දණ්ඩ

නා.ප්‍ර. තරාදියෙහි තටු දෙක එල්ලා ඇති හරස් කඳ; තරාදි කඳ.

තුලා පත්‍රය

(පාරිභා.) නා. අයවැය සමකර දක්වන ලේඛනය; ශේෂ ගණන් පත්‍රය.

තුලා භාරය

නා. යමකුගේ බර හා සම වූ බරින් යුත් වස්තුවෙන් දෙන දානය.

තුලා යෂ්ටිය

නා. තරාදි කඳ; තරාදි දණ්ඩ.

තුලාකරණය

(පාරිභා.) නා. ගණන් තැබීමේ දී අයවැය දෙපැත්ත සමබර කිරීම; ශේෂ කිරීම.

තුලාකූට

නා.ප්‍ර. තරාදියෙන් හොරට බඩු කිරීමෙන් අනුන් රැවටීම.

තුලාදර

නා.ප්‍ර. රන් ආභරණ සාදන්නා; රන්කරුවා; තරහලුවා.

තුලාධාරය

නා. තරාදිය; තුලාව; සමබරතාව පදනම් කරගෙන බඩු කිරන උපකරණය.