සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 166

ආචමනපාදුකා

ඉ. අත්පා ආදිය සේදීමට පාවිච්චි කරන ලෑල්ල, අත්පා සේදීමෙන් පසු පාවිච්චි කරන පාවහන්, වැසිකිළියේ වර්චස් සෝදන පාදුකාව, “ආචමනපාදුකාය ඨිතෙන උබ්භුජීතබ්බං.” (පි. 121)

ආචමනසරාවක

න. වැසිකිළියේදී අත් පා සේදීම් ආදියට වතුර සැන්ද හෝ භාජනය - මලාව, “න ආචමනසරාවකෙ උදකං සෙසෙතබ්බං.” (පි. 121)

ආචමයති

ක්‍රි. (ආ+චමු √ චු. සොධනෙ, පිරිසිදු කිරීමෙහි +ණය+ති) සෝදයි, පිරිසිදු කරයි. (පි. 121)

ආචමා

ඉ. උරා ගැනීම, නියුක්ත වීම. (පි. 121)

ආචමු

ක්‍රි. (ආ+චමු √ චු. ධොවනෙ, සේදීමෙහි) සේදුවේය, පිරිසිදු කෙළේය. (පි. 121)

ආචමෙති

ක්‍රි. ආචමයති බලනු. (පි. 121)

ආචය

පු. රැස් කිරීම, එක්කාසු කිරීම, කෙලෙස් රැස් කිරීම. (පි. 121)

ආචයගාමී

පු. රැස් කරන්නා, එකතු කරන්නා, කෙලෙස් රැස් කරන්නා. (පි. 121)

ආචරණ

න. ආචාරය, ක්‍රියාව, හැසිරීම. (පි. 121)

ආචරති

ක්‍රි. (ආ+චර √ භු. සංචරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි, එහාට මෙහාට ගමන් කරයි. (පි. 121)

ආචරි

ක්‍රි. (ආ+චර. √ චු. චරණෙ, හැසිරීමෙහි +ඊ) හැසුරුණේය. කෙළේය. (පි. 121)

ආචරිත

ති. ඇසුරු කළ-කරන ලද, හැසිරෙණ ලද, ව්‍යවහාර කළ. (පි. 122)

ආචරිත්වා

පු.ක්‍රි. (ආ+චර+ත්වා), හැසිරී, “යං අනාචාරං ආචරිත්වා.” (පි. 121)

ආචරිය

පු. ආචාර්‍ය්‍යයා, හික්මිය යුතු ධර්‍මයෙහි පිහිටුවන්නා, ධර්‍මශාස්ත්‍රාදිය උගන්වන්නා, ඇදුරා, පබ්බජ්ජා- උපසම්පදා-නිස්සය-උද්දෙස කියා ආචාර්‍ය්‍යවරු සතර දෙනෙකි. (පි. 121)

ආචරියඋග්ගහ

පු. ආචාර්‍ය්‍යයන් වෙතින් ඉගෙනීම, පරම්පරාගත ඇදුරන් වෙතින් ඉගෙන ගැනීම. (පි. 121)

ආචරියඋපද්දව

පු. ඇදුරන් වෙතින් වන විපත්-උපද්‍රවය. (පි. 121)

ආචරියක

ති. ආචාර්‍ය්‍යයන්ට අයිති, ආචාර්‍ය්‍ය පරපුරට ඇතුළත්, “සකං ආචරියකං උග්ගහෙත්වා.” (පි. 121)

ආචරියකම්ම

න. ඇදුරාගේ කාර්‍ය්‍යය, ඉගැන්වීම. (පි. 121)

ආචරියකිච්ච

න. ගුරුවරයා විසින් කටයුතු වැඩ. (පි. 121)

ආචරියගහණ

න. ගුරුවරයෙකු පත්කර ගැනීම. (පි. 121)

ආචරියචතුක්ක

න. පරිවාර පාලියෙහි දක්වා ඇති ආචාර්‍ය්‍ය චතුෂ්කය. (පි. 121)

ආචරියධන

න. ගුරුදක්ෂිණාව, ඇදුරු බැලය, ආචාර්‍ය්‍ය ධනය. (පි. 121)

ආචරියධනු

න. ඇජර දුන්න, මහා දුන්න, නව වියත් ප්‍රමාණ මහා දුන්න. “ආචරියධනු නාමපකති හත්ථෙන නව විදත්ථිප්පමාන.” (පි. 121)

ආචරියපරම්පරා

ඉ. ඇදුරු පරපුර, ත්‍රිපිටකය පිළිබඳ ආචාර්‍ය්‍ය පරම්පරා කීපයක් පෙර තිබින. නිදර්‍ශනයක් වශයෙන් කියතොත් විනයපරම්පරාව - දඹදිව උපාලි, දාසක, සොණක, ආදී මහරහතුන් වහන්සේලා හා ලක්දිව, මිහිඳු මහ රහතුන් වහන්සේ ආදී කොට ඇත්තාහුද දැක්විය හැක. “පරම්පරාභතා තස්ස නිපුණා අත්ථ වණ්ණනා.” යනාදීන් පෙණෙන්නේ අනුරාධපුර මහා විහාර පරම්පරාවයි. (පි. 121)