සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1197

මදිරාව

නා. මත් ගතියක් ඇති කරවන පානය ; සුරාව.

මදුරු

1. නා.ප්‍ර. මන්දාර 1. මන්දාර පර්වතය ; මහා මේරුව.
2. හීය ; ඊ ගස.

මදුරුවා

නා. මිනිසුන්ගෙන් සතුන්ගෙන් ලේ උරා බොමින් ජීවත් වන්නා වූ ද ලෙඩ රෝග පැතිරවීමට ඉවහල් වන්නා වූ ද පියාසර කරන කුඩා කෘමි විශේෂයක්.

මදුල

නා. කොස් ආදි ගෙඩිවල ඇටය වටා ඇති ඝන වූ මාංසමය කොටස.

මධ්‍ය කේන්ද්‍රය

නා. වෘත්තයක හෝ ගෝලයක මධ්‍යලක්ෂ්‍යය.

මධ්‍ය ප්‍රදේශය

1. නා. ශරීරයෙහි මැද කොටස ; ඉඟටිය.
2. මැද පෙදෙස හෙවත් කොට්ඨාසය.

මධ්‍ය බින්දුව

(පාරිභා.) නා. වෘත්තයක හෝ ගෝලයක සෑම ලක්ෂ්‍යයක ම සිට එක ම දුරක · පිහිටි ලක්ෂ්‍යය ; කේන්ද්‍රය ; මධ්‍යය.

මධ්‍ය භාගය

1. නා. මැද කොටස.
2. මනුෂ්‍ය ශරීරයේ ඉළ ඇට හා උකුල අතර ප්‍රදේශය ; ඉඟ ; ඉණ ; කටිය.

මධ්‍ය විද්‍යාලය

නා.ප්‍ර. දේශීය පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පිහිටුවා ඇති පාඨශාලා ශ්‍රේණියක්.

මධ්‍ය ස්ථුණය

(පාරිභා.) නා. ශාකයක කඳෙහි හෝ මුලෙහි කේන්ද්‍රික කොටස.

මධ්‍ය සූස්තරය

(පාරිභා.) නා. සහෝදර සෛල දෙකක් අතර පිහිටි තුනී සෛල තලයක්.

මධ්‍යක අගය

(පාරිභා.) නා. සංඛ්‍යා සමූහයක එකතුව එම සංඛ්‍යා ගණනින් බෙදූ විට ලැබෙන අගය ; මධ්‍යන්‍ය අගය.

මධ්‍යකාය

1. නා.ප්‍ර. ශරීරයේ මැද කොටස.
2. (පාරිභා.) ඇතැම් සන්ධිපාදිකයන් ගේ උදරයේ ඉදිරිපස කොටස.

මධ්‍යකාලීන

වි. ඉතිහාසයෙහි මැද කාලයට අයත් ; මධ්‍ය භාගයට ඇතුළත් වූ.

මධ්‍යතන

වි. මැද කාලය පිළිබඳ ; මධ්‍ය කාලයට අයත්.

මධ්‍යධරණී

වි. මධ්‍යධරණී මුහුද හා ඒ අසබඩ ප්‍රදේශවල සම්බන්ධ වූ හෙවත් අයත් ; මධ්‍යධරණී දේශගුණය ඇති භූමිකලාප පිළිබඳ වූ හා එම කලාපවලට අයත්.

මධ්‍යන්‍ය සූර්යයා

(පාරිභා.) නා. මධ්‍ය කාලය කලාපීය කාලය ආදි කාල මානයන් නියම කරගැනීම සඳහා උපයෝගී කරගනු ලබන කල්පිත සූර්යයා.

මධ්‍යම

1. වි. ඉහළ හෙවත් උසස් සීමාව හා පහළ හෙවත් පහත් සීමාව අතරෙහි වූ ; යම්කිසි කාලසීමාවකට හෝ වයස් සීමාවකට හෝ මධ්‍යයෙහි වූ ; මැද වූ ; මැදුම් ; මැදි.
2. ප්‍රමාණයෙන් ඉතා විශාල හෝ කුඩා හෝ නුවූ ; සාමාන්‍ය.
3. උත්තම හෝ අධම නුවූ ; උසස් හෝ පහත් නුවූ ; සාමාන්‍ය තත්ත්වයකින් යුතු වූ.
4. ධනවත් හෝ දිළිඳු හෝ නුවූ ; දුප්පත් හෝ පොහොසත් හෝ නොවූ ; මැද පංතියට අයත්.
5. මූලික ; ප්‍රධාන.
1. නා.ප්‍ර. මැද වයස.
2. (සංගී.) සප්ත ස්වරයන්ගෙන් එකක්.

මධ්‍යම ආණ්ඩුව

නා. රටක ප්‍රාන්ත රාජ්‍යවලට අහිමි වූ විශේෂ බලතල ඇති ප්‍රධාන රජය ; ප්‍රාන්ත රාජ්‍යයක් ඇති රටක පොදු ප්‍රශ්න ගැන ක්‍රියා කරන රජය.

මධ්‍යම ප්‍රතිපදාව

1. නා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මැදුම් පිළිවෙත ; ආර්ය අෂ්ටාංගික මාර්ගය.
2. මධ්‍යස්ථ ව ක්‍රියා කිරීමේ පටිපාටිය ; මැදි පිළිවෙත.

මධ්‍යම පුරුෂ

නා.ප්‍ර. (ව්‍යාක.) නාමපද හා ආඛ්‍යාත පද පුද්ගල ප්‍රධානත්වය අනුව බෙදනු ලබන වර්ග තුනෙන් 'ත' ශබ්දය (තෝ, තොපි) අයත් වන වර්ගය ; ‘ත’ ශබ්දකාරකය.

මධ්‍යම බැංකුව

නා. රටක ප්‍රධාන බැංකුව ; සෑම බැංකුවක්ම නියෝජනය කරන මූලික බැංකුව.

මධ්‍යම මොළය

නා. පෘෂ්ඨවංශී කලලයේ දෙවැනි හෙවත් මැද තිබෙන මස්තිෂ්ක ආශයිකාවෙන් සෑදෙන දෘෂ්ටි ඛණ්ඩිකා හා මස්තිෂ්ක අධර අන්තර්ගත මොළයේ කොටස.

මධ්‍යම රේඛාව

නා. පෘථිවියෙහි උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය ඔස්සේ ආපසු උත්තර ධ්‍රැවය තෙක් වටා දිවෙන කල්පිත රේඛාව ; මධ්‍යාහ්න රේඛාව.