සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1196

මදපානි

නා.ප්‍ර. මද්‍යපානය කිරීමෙන් එය සිරුරට අහිතකරවීමෙන් රෝගී වූ තැනැත්තා ; මදාත්‍ය රෝගියා.

මදමත්

1. වි. මධුයෙන් හෝ වෙනත් දෙයක් කෑමෙන් බීමෙන් මත් වූ ; මදයෙන් මත් වූ.
2. යෞවන භාවය හෝ අධික රූප ලක්ෂණය හේතු කොටගෙන මානයෙන් මත් වූ.
3. ඇතුන්ගේ කපෝල ආදියෙන් වැගිරෙන මදයෙන් මත් වූ.

මදමරු

නා.ප්‍ර. මන්ද මාරුතය ; මඳ සුළඟ.

මදය

නා. ගෙඩි ඇට ආදියෙහි පිට පොත්තට ලෙල්ලට හෝ තද කටුවට ඇතුළතෙහි ඇති මෘදු කොටස.

මදයා

1. නා. අනංගයා ; කාමදේවයා.
2. මද වැගිරෙන ඇතා.
3. කප්පාදු නොකළ ගොනා.
4. වල් මී ගොනා ; කුළුහරකා ; මත් වූ මීමා.
5. රාගයෙන් මත් වූ තැනැත්තා.
6. සුරා මදයෙන් මත් වූ තැනැත්තා.

මදලස

වි. මද අලස බැවින් යුත් ; ඉක්මන් නොවූ ; ලීලා සහිත වූ.

මදලිය

නා. අනංගයා ගේ භාර්යාව.

මදවහ

වි. මත්බව ඇති කරන ; මත්තභාවය උපදවන.

මදහස

නා. මද සිනාව ; මන්දහාසය.

මද්ද

වි. මධ්‍යම ; මැදි ; මැද.
නා.ප්‍ර. (කථා.) තොණ්ඩුව ; මළ පුඩුව.

මද්දලය

නා. තූර්ය භාණ්ඩ විශේෂයක නාමය ; දෙමළ බෙරය.

මද්දව

නා.ප්‍ර. මෘදු ස්වභාවය ; මොළොක්බව.

මද්දහනය

නා. මධ්‍යාහ්නය ; දවසේ මැද භාගය ; මහ දවාල.

මද්දුම

1. වි. මධ්‍යම ; බාල හා වැඩිමහල් දෙදෙනාට අතර මැද වූ ; මැදි.
2. පවුලේ දරු තුන්දෙනා ගෙන් දෙවැනි.

මද්‍ය

වි. මත් කරවන ; මත් ගතිය ඇති කරවන.
නා.ප්‍ර. මත් කරවන පානය ; මත්ගතිය ගෙන දෙන බීම ; මත්පැන්.

මද්‍යසාරය

නා. මත්බව ඇති කරවන ද්‍රවසාරය ; ඇල්කොහොල්.

මදාරා

1. නා. දෙව්ලොව ඇතැයි සැලකෙන දිව්‍ය වෘක්ෂ පහෙන් එකක් හා එහි පුෂ්පය.
2. ඉතා දුර්ලභ වර්ගයේ ගසක්.

මදාවි

1. වි. මඳ කලක් ජීවත් වන ; අඩු වයසින් යුතු ; අල්පායුෂ්ක.
2. (කථා.) අකීකරු ; හිතුවක්කාර ; කිසිවකු ගේ අවවාද නොතකන.

මදි

1. නා.ප්‍ර. චන්ද්‍රයා.
2. කජුවලින් කරන ක්‍රීඩාවක් ; ඔත්තේ ඉරට්ටේ ඇල්ලීම.
නි. අඩු ; ස්වල්ප ; ප්‍රමාණ නොවන ; අල්ප ; නොසෑහෙන.

මදිච්චිය

නා. තෙල් බේත් ආදිය ගල්වා තදින් ඇතිල්ලීම ; ඉළීම ; උරච්චි කිරිම.

මදින ගල

නා. දැලි පිහියා ආදිය මුවහත් තබන ගල ; කුරගල ; කරගල ; තෙල්ගල.

මදිනවා

1. ක්‍රි. ආයුධ ආදිය මුවහත් කරනවා ; මුවහත් කිරීමෙන් සිනිඳු කරනවා ; කර්කශ බව නැති කරනවා.
2. ඉස්ත්‍රික්කයකින් රෙදි ආදියෙහි රැලි ගැසුණු ස්වභාවය ඉවත් කරනවා ; පොඩිවුණු ගතිය නැති කරනවා.
3. බෙහෙත් තෙල් ගා අතුල්ලනවා.
5. (දත්) පිරිසිදු කරනවා.

මදින්නා

(කථා.) නා. 1. තල්, පොල්, කිතුල් ආදි මල් කපා රා මදින තැනැත්තා.
2. මත්ස්‍යයකුගේ නාමය ; මෝරා.

මදිපාඩුව

නා. අඩුපාඩුව ; ඌනතාව.