සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1195

මත්ස්‍ය මාංස

නා.ප්‍ර. කරදියේත් මිරිදියේත් වසන මත්ස්‍යයන්ගේ මස.

මත්ස්‍ය විද්‍යාව

නා. මසුන් පිළිබඳ ශාස්ත්‍රය.

මත්ස්‍යයා

1. නා. බෙහෙවින් කරමල් මගින් ආශ්වාස-ප්‍රශ්වාස කරමින්, වලග සහ වරල් ගැසීමෙන් ඔබ මොබ යන ජලජ සත්ව විශේෂයක් ; මාලුවා.
2. (ප්‍ර.යෙදේ) (ජ්‍යෝති.) මීන රාශිය; මත්ස්‍ය යුග්මයකගේ ආකාරයෙන් පිහිටා තිබෙන තාරකා (රාශිය) සමූහය.
3. විෂ්ණු දෙවිගේ දශ අවතාරවලින් එකක්.

මතාන්තර

නා.ප්‍ර. නොයෙක් අය ගේ විවිධ අදහස් ; වෙනස් වූ චින්තා ; අන්‍ය වූ මත.

මති

1. නා.ප්‍ර. අදහස ; අරමුණ ; අභිප්‍රාය.
2. නුවණ ; ඥානය ; ප්‍රඥාව ; බුද්ධිය.
3. කැමැත්ත.
4. සිහිය ; ස්මෘතිය.

මති භ්‍රාන්තිය

නා. මතිභ්‍රමය ; සිත අවුල්බව ; මනසෙහි ව්‍යාකූල භාවය.

මතිභ්‍රමය

නා. සිත අවුල් බව ; මනසෙහි ව්‍යාකූල භාවය ; චිත්ත වික්ෂේපය.

මතු

1. වි. උඩ පිහිටි ; මුදුනෙහි වූ ; මස්තකයෙහි වූ.
2. ඉදිරි කාලයෙහි වන ; අනාගතයෙහි සිදුවන.
නි. විතරක් පමණක්.

මතු කරනවා

ක්‍රි. යට වී ඇති යමක් උඩට ගන්නවා ; යටපත් වූ දෙයක් මතුපිටට ගන්නවා ; ඉස්මතු කරනවා.

මතුභවය

නා. ඊළඟ ආත්මභාවය; පුනර්භවය ; අනතුරුව උපදින අත්බව.

මතුරනවා

1. ක්‍රි. මන්ත්‍ර ආදිය නියමිත වාර ගණනක් කියමින් ජප කරනවා ; ජපනවා ; ජීවං කරනවා.
2. ශබ්දය පිටට නොයන පරිදි තමාට පමණක් ඇසෙන සේ හෙමින් යමක් කියනවා ; මුමුණනවා.

මථනය

1. නා. කැලඹීම ; කැලතීම ; ඇලළීම.
2. මැඬලීම ; මැඩපැවැත්වීම ; පැරදවීම ; මර්දනය.

මද

1. වි. පියවි සිහියෙන් ඈත් කරන ද්‍රවයක් හෝ ද්‍රව්‍යයක් ගැනීමෙන් මත් වූ ; මත් බවට පත්.
2. අධික නොවූ ; අල්ප ; ස්වල්ප ; අඩු ; සුළු.
1. නා.ප්‍ර. කාමාශාව ; අනුරාගය.
2. අධික මානය ; ගර්වය ආදිය නිසා ඇති වන මත්බව ; අධික අහංකාරය ; ආඩම්බරය.
3. ඇතුන්ගේ කපෝලාදියෙන් වැගිරෙන ද්‍රව විශේෂයක්.
4. පුරුෂ ශක්තිය ; කාම ශක්තිය.
5. සුවඳවත් ඖෂධ ද්‍රව්‍යයක් ; කස්තුරි.

මද අතුර

(පාරිභා.) නා.ප්‍ර. ස්ත්‍රී ක්ෂීරපායින් ගේ අපර මද කාලයට පසු ව එන වර්ධන කාලය.

මද කාලය

නා. (ඇත් මුව ආදි සතුන්ගේ) මද කිපෙන අවස්ථාව ; මද වෑහෙන කාලය ; සංසර්ගයට පෙලඹෙන හෙවත් උත්සුක වන කාල සීමාව.

මද කිපෙනවා

ක්‍රි. (ඇත් මුව ආදි සතුන්ගේ) මදය ඇවිස්සෙනවා.

මද ගල

වි. මද වෑහෙන ; මද ගලන.

මද ගින්න

1. නා. අඩු ගින්න.
2. බඩගිනි මඳ බව ; ආහාර නොදිරවීම ; මන්දාග්නිය.

මද යුදය

නා. අනංග යුද්ධය ; කාම සම්භෝගය ; රති ක්‍රීඩාව.

මද වැහෙනවා

ක්‍රි. ඇතුන්ගේ දෙකපොල් ආදි ශරීරාංගවලින් මද දිය වැගිරෙනවා.

මදකාරි

වි. මත් බව ඇති කරන ; මද වඩන.

මදගජ

නා.ප්‍ර. මද වැගිරෙන ඇතා.

මදඩිය

නා. මදටිය ඇටයක බර.

මදන

1. නා.ප්‍ර. අනංගයා ; කාමදේවයා.
2. රාගය ; කාමාශාව.
3. මත් ගතියෙන් ඇති කෙරෙන උන්මාදය ; මත් කිරීම.
4. සුරාව ; රහමෙර.
5. සතුටු වීම; ප්‍රීති වීම ; සතුටු කිරීම.