සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1194

මත වරණ

නා.ප්‍ර. මද කිපුණු ඇතා ; මතැතා ; මත්ත හස්තියා.

මතංග

නා.ප්‍ර. ඇතා ; හස්තියා.

මතක

1. වි. අමතක නොවන ; සිහියේ රඳා පවතින ; සිහිපත් වන ; කල්පනාවෙහි ඇති.
2. මියගිය අය පිළිබඳ ; මැරුණු අය සම්බන්ධ.

මතක පත්‍ර

නා.බහු. මෙගාබයිට් ගණනාවක පරිගණක දත්ත හා ලේඛන තැන්පත් කළ හැකි කුඩා කාඩ්පත්.

මතක බණ

නා.ප්‍ර. මිය ගිය අයකුට පින් පමුණුවාලීම සඳහා මියගොස් සත්වන දිනය තුලදී කියවන බණ.

මතක වස්ත්‍රය

නා. බෞද්ධයකු මිය ගොස් අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වීමේදී මිය ගිය පුද්ගලයාට පින් පැමිණවීම සඳහා ඥාතීන් විසින් සංඝයාට පූජා කරන වස්ත්‍රය.

මතකය

නා. සිහිය ; කල්පනාව ; ස්මෘතිය ; අමතක නොවන ස්වභාවය.

මතධාරි

වි. මත දරන ; අදහස්වල එල්බගෙන සිටින.

මතය

1. නා. අදහස ; හැඟීම ; සිතිවිල්ල ; කල්පනාව.
2. සිද්ධාන්තය ; දර්ශනය.
3. ඥානය.

මත්

වි. මත් වූ.

මත් කරනවා

1. ක්‍රි. (අධික සතුටට සිත) ප්‍රීතියෙන් පිනා යනවා ; (සිත් සතුටු) ආශාවෙන් උතුරා යනවා.
2. අධික කෝපය නිසා හෝ මත් දෙයක් ගැනීමෙන් හෝ සිත් මුළා කරනවා ; පියවි සිහියෙන් ඈත් කරනවා.

මත් දණ්ඩ

නා.ප්‍ර. කැලැතීමට යොදා ගන්නා දණ්ඩ ; ඇළලීමට ගන්නා ලී පතුර.

මත් වෙනවා

ක්‍රි. (රූප මදය ආදියෙන්) පියවි සිහිය වෙනස් වෙනවා ; සිහිමුළා වෙනවා ; උමතු වෙනවා.

මත්තිකා

නා.ප්‍ර. මැටි ; පස්.

මත්ද්‍රව්‍යය

නා. පාවිච්චි කිරීමෙන් මත් ගතියක් ඇති කරවන ද්‍රව්‍යය ; මත් බවට පත් කරවන දෙය ; මත් ජාතිය.

මත්පැන්

නා.ප්‍ර. මත් ගතියක් ගෙන දෙන පානය ; මත් කරවන බීම වර්ග ; සුරාව ; මද්‍යපානය.

මත්පෙත්ත

1. නා. කළඹන දණ්ඩේ පෙත්ත ; මත් දණ්ඩක තිබෙන චක්‍රාකාර පෙත්ත.
2. පානය කළ විට මත් ගතියක් ඇති කරවන බෙහෙත් පෙති වර්ගයක් ; සිහිය විකෘති කරන බෙහෙත් පෙත්ත.

මත්ලීය

නා. බඹර වද කඩා ගැනීමට උපයෝගී කරගන්නා ලීය.

මත්වැඩි

නා.ප්‍ර. මාත්‍රා වෘද්ධිය ; ඡන්දස් හේතුවෙන් කෙටි මාත්‍රාවක් දීර්ඝ කිරීම.

මත්සර

1. වි. මාත්සර්යයෙන් යුත්; ලෝභ ; මසුරු.
2. ක්‍රෝධයෙන් යුතු ; ඊර්ෂ්‍යාසහගත.

මත්ස්‍ය ජාලය

නා. මසුන් ඇල්ලීමට උපයෝගී කරගන්නා දැල ; මාලු දැල.

මත්ස්‍ය ධ්වජ

නා.ප්‍ර. කාමයට අධිපති හින්දු දෙවියා ගේ නාමය ; අනංගයා.

මත්ස්‍ය බල්ලා

නා. පා ඇති මාලුවා ; පාද සහිත මත්ස්‍යයා.

මත්ස්‍ය භක්ෂකයා

නා. මසුන් ආහාරයට ගන්නා සත්වයා ; මාලු අනුභව කරන්නා.