සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1193

මණ්ඩල වාතය

නා. කැරකෙමින් හමනා සුළඟ ; සුළි සුළඟ.

මණ්ඩලත්‍රය

1. නා.ප්‍ර. ඇසෙහි ඇති මණ්ඩල තුන.
2. පැරණි දඹදිව බෙදා තුබූ මණ්ඩල තුන.
3. දෙදණ හා නාභිය යන තුන් තැන.

මණ්ඩලය

1. නා. චක්‍රාකාර දෙය ; විශේෂයෙන් චන්ද්‍ර සූර්ය ආදි ග්‍රහයන් වටා රවුම් ව පිහිටි ප්‍රදේශය ; මඩුල්ල ; රැස්වළල්ල.
2. බෙහෙත් ගුලිය.
3. පාලන පහසුව සඳහා රට බෙදනු ලැබූ එක් කොටසක් ; ප්‍රදේශය ; ජනපදය.
4. (ජ්‍යෝති.) ග්‍රහයන්ට අයත් ප්‍රදේශය.
5. සමූහය ; පිරිස.

මණ්ඩලාග්‍රය

1. නා. කඩුව ; අසිපත ; කග ; ඛඞ්ගය.
2. ශල්‍යකර්ම සඳහා යොදාගත් ආයුධ විශේෂයක්.

මණ්ඩි

නා.ප්‍ර. ද්‍රවයක ඇති ද්‍රව්‍යවලින් යටට කිඳා බසින සැහැල්ලු කොටස ; දිය, තෙල් ආදි ද්‍රව තිබෙන බඳුනක පත්ලේ ම රැඳෙන ද්‍රව්‍ය කොටස ; අඩියෙහි මිදෙන දෙය ; පතුලට ම බසින රොඩු ; බොර ; අවපාතය.

මණ්ඩි පාෂාණ

(පාරිභා.) නා.ප්‍ර. පාෂාණ වර්ගයක්; වැසි වතුරෙන් ගල් හා පස් සෝදාගෙන ගොස් තැන්පත්වීමෙන් සෑදෙන පාෂාණ ; අවසාදිත පාෂාණ.

මණ්ඩිත

වි. සැරසුණු ; අලංකෘත ; අලංකාර කරන ලද ; විභූෂිත.

මණ්ඩිය

1. නා. ප්‍රදේශය ; පැත්ත ; පෙදෙස.
2. පැළ සිටවීමට සැකසු භූමිය.
3. නැටුම් ඉරියවුවක්.

මණ්ඩුක ප්‍රාණියා

නා. ගොඩ දිය දෙකෙහි ම වසන සත්වයා ; ස්ථල ජලචාරී සත්වයා.

මණ්ඩුකයා

නා. ගෙම්බා ; මැඩියා.

මණිකාරයා

නා. මැණික් කපා ඔප මට්ටම් කිරීමේ ශිල්පියා ; මැණික් පිළිබඳ කර්මාන්තකරුවා.

මණිප

1. නා.ප්‍ර. සර්පයා.
2. යක්ෂයා.

මණිපත්‍ර

නා.ප්‍ර. මලෙහි ග්‍රාහයට සවි ව පිටතින් ම පිහිටි කුඩා පත්‍ර.

මණිමාලාව

1. නා. මැණික්මාලය; මාණික්‍යයෙන් කළ මාලය.
2. (ප්‍ර. යෙදේ) රූපශ්‍රීයෙන් අගපත් දේවතාවියක්; ලක්ෂ්මී දෙවඟන.

මණිමුක්ත

වි. මලෙහි තැරියෙන් හෙවත් මණියෙන් මිදුණු ; පිපුණු.

මණිමේඛලා

1. නා.ප්‍ර. මහමුහුද අරක් ගත් සේ සැලකෙන දේවතාවිය ; සමුද්‍රයට අධිගෘහිත දෙවඟන.
2. කාන්තාවන් උකුළෙහි පලඳින ආභරණයක්; මැණික් ඔබ්බවා කළ මේඛලා දාමය.

මණිය

1. නා. රත්න විශේෂයක් ; මැණික ; මිණ ; මාණික්‍යය.
2. කළු ගල.
3. කුඩා ඝණ්ටාව ; කුඩා සීනුව.
4. ඉදිරි බාහුවත් අල්ලත් අතර සන්ධිය ; මැණික් කටුව.
5. මලෙහි ග්‍රාහයට සවි වී පිටතින් පිහිටි කුඩා පත්‍ර ; මණිපත්‍ර ; තැරිය.

මණිරත්න

නා.ප්‍ර. ඉතා වටිනා මැණික ; දුර්ලභ මැණික; මිණි රුවන.

මඬලග

නා.ප්‍ර. මණ්ඩලාග්‍රය බ.

මඬුලුසඳ

නා. මණ්ඩලය සහිත සඳ ; රැස් වළල්ල සහිත චන්ද්‍රයා.

මත

1. නා. (මත්පැන් ආදිය ගැනීමෙන් හෝ අධික කෝපය මානය ආදියෙන් වන සිහිමුළා ගතිය ; ප්‍රකෘති වෙනස්වීමේ ස්වභාවය.
2. පමණ ; විතර ; ප්‍රමාණය.
3. ලඝු අක්ෂරයක් උච්චාරණය කිරිමට ගත වන කාලය ; මාත්‍රාව.
4. අළලන දණ්ඩ ; මන්ථන දණ්ඩ ; මන්ථය.
5. හැන්ද.
6. මිනිසා ; මර්ත්‍යයා.
7. උඩ ; මතුපිට ; මස්තකය.
8. අදහස් ; හැඟීම් ; සිතිවිලි; කල්පනා.
1. වි. ප්‍රීතියෙන් පිනා ගිය ; අධික සතුටින් කුල්මත් වූ.
2. (මධුවෙන්, මදයෙන් හෝ සුරාවෙන් මත් වී) සිහිය මුළා වූ ; පියවි සිහියෙන් ඈත් වූ.
3. මැරුණු ; මළ ; මියගිය.

මත ගානවා

ක්‍රි. (කැඳ වැනි දෙයක් පිසීමේ දී මත් දණ්ඩෙන්) පොඩි කරනවා ; හැඳි ගානවා ; මන්ථනය කරනවා.

මත භේදය

නා. මතවල එකගතාවක් නැතිබව ; මත ; පරස්පර වීම ; වෙනස් වූ අදහස.

මත වරඟන

1. නා. ඇතින්න, කෙණෙර.
2. මත් වූ උතුම් කාන්තාව ; මත්ත උත්තමාඞ්ගනාව.