සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1233

මැති

1. නා.ප්‍ර. ඇමතිවරයා ; අමාත්‍යයා.
2. මන්ත්‍රීවරයා ; පාර්ලිමේන්තු හෝ පළාත්සභා නියෝජිතයා.

මැතිවරණ කොමසාරිස්

නා.ප්‍ර. මැතිවරණ කටයුතු පිළිබඳව රජයෙන් පත්කරනු ලැබ සිටින නිලධාරියා.

මැතිවරණ ප්‍රකාශනය

නා. මැතිවරණයකදී ඒ ඒ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන තම ප්‍රතිපත්ති මාලාව.

මැතිවරණය

නා. දේශපාලන ආයතනයකට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන ඡන්ද විමසීම.

මැතිසක්

නා.ප්‍ර. මන්ත්‍රී චක්‍රය ; මන්ත්‍රී අමාත්‍ය සමූහයා ; මැති-ඇමති මණ්ඩලය.

මැතොදිස්ත

වි. රෙපරමාදු ආගමට අයත් ජෝන් වෙස්ලි නම් පියතුමකු විසින් ආරම්භ කරන ලද ක්‍රිස්තු භක්ති ක්‍රමයක්.

මැද

1. නා.ප්‍ර. මධ්‍යය ; වස්තු දෙකක් අතර පෙදෙස ; අන්ත නොවූ තත්ත්වය.
2. ඉදිරිපිට ; ඉස්සරහ ; අභිමුඛය.
වි. මැදහත් ; මධ්‍යස්ථ.

මැද කන්නය

නා. යල මහ කන්න දෙක අතර වගා වාරය.

මැද පළාත

නා. ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකක් වන මධ්‍යම කඳුකර පළාත.

මැද මොළය

(පාරිභා.) නා. මධ්‍ය මස්තිෂ්කය.

මැද වට්ටම

නා. නැටුම් විධියක්; සිංහල නැටුම් බෙදා ඇති කොටස් දෙකෙන් එකක්.

මැදඟිල්ල

[මැද + ඇඟිල්ල]
නා. අතෙහි හෝ පාදයෙහි ඇඟිලි පසෙන් මැද්දෙහි පිහිටා ඇති ඇඟිල්ල.

මැදදෙස

නා.ප්‍ර. ඉගටිය ; ශරීරයේ මැද කොටස.

මැදපෙරදිග

නා.ප්‍ර. ඊජිප්තුව හා ඇෆ්ඝනිස්ථානය අතර පිහිටි බිම් ප්‍රදේශයට අයත් රටවල් ; ලෙබනන්, ඊශ්‍රායිල්, සිරියා, ජෝර්දාන්, ඉරාක්, එමිරේට් රාජ්‍ය, සවුදි, යෙමන් හා ඉරාන් ආදි රටවල්.

මැදහත්

වි. මධ්‍යස්ථ ; පක්ෂ භේදයෙන් තොර ; සාධාරණ ; උපේක්ෂා සහගත.
නා.ප්‍ර. මැදහත්බව ; සාධාරණකම අපක්ෂපාත බව.

මැදහත් වෙනවා

1. ක්‍රි. මධ්‍යස්ථ වෙනවා ; උපේක්ෂා සහගත වෙනවා.
2. හවුල් වෙනවා ; එක් වෙනවා ; ඉදිරිපත් වෙනවා.

මැද්ද

නා. මැද ; මධ්‍යය.

මැදි

වි. මැදින් පිහිටි ; මැදි වූ.

මැදි කරනවා

ක්‍රි. ඇතුළත් කරනවා ; අඩංගු කරනවා ; මැද්දට දමනවා ; අන්තර්ගත කරනවා.

මැදි නාරටිය

(පාරිභා.) නා. පත්‍රයක ප්‍රස්තරය මැදින් වැටී තිබෙන ප්‍රධාන නාරටිය.

මැදි පිරවුම

(පාරිභා.) නා. ක්‍රමානුකූල නොවූ ශාඛා බෙදීගිය සෛලවලින් යුක්ත කලලරූපී සම්බන්ධක පටකය ; මධ්‍යශ්ලේෂය.

මැදි විය

නා. මධ්‍යම වයස.

මැදිකල් පිළිනපත්

නා.ප්‍ර. (නව.) අවුරුදු පහේ සිට විස්ස තෙක් වලංගු භාණ්ඩාගාර ණයපත්.

මැදිගැට

(කථා.) නා. කිතුල් ගසේ පුරුක් මැද සෑදෙන මල් ; කුඩා කිතුල් මල්.

මැදින්

නා.ප්‍ර. පෙබරවාරි-මාර්තු කාල සීමාවට ගැළපෙන සිංහල මාසයක් ; දොළොස්වන චන්ද්‍ර මාසය.