සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1279

යගල්

නා.ප්‍ර. යකඩ ගල් ; කාබනේට් ගල්.

යගුළිය

නා. යකඩ ගුළිය ; අයෝමය පිණ්ඩය.

යජුර්වේදය

නා. යාග කර්මවල දී ගයනු ලබන ස්තෝත්‍ර ආදිය අන්තර්ගත වේද ග්‍රන්ථය.

යඥ

නා.ප්‍ර. යාගය ; දේවපූජාව ; දෙවියන්ගෙන් පිහිට ඉල්ලා සිටීම.

යඥෝ පර්වතය

නා. පූන නූල ; හින්දු කුල දරුවන්ට උපනයන මංගල්‍යයේදී කරේ දමන නූල.

යට

වි. යට ; පහත ; අධඃස්ථ ; අධෝ භාගයෙහි වූ ; පහළ.
1. නා.ප්‍ර. කොඩි ආදිය එල්ලීමට සකස් කළ සිහින් ලීය ; රිට ; යෂ්ටිය.
2. හැරමිටිය.
3. යම් තැනකට වඩා පහතින් පිහිටි ස්ථානය.

යට කය

නා.ප්‍ර. සිරුරේ පහළ කොටස ; ශරීරයේ අධෝ භාගය.

යට කරනවා

1. ක්‍රි. ඇතුළු කරනවා ; ඇතුළට දමා වහනවා.
2. යටපත් කරනවා ; මැඩ පවත්වනවා ; යටතේ තබා ගන්නවා.
3. වාහන ආදියට හසු කරනවා.
4. යොදවනවා ; වැය කරනවා (මුදල් සම්බන්ධයෙන් යෙදේ.)

යට මහල

නා. පහත තට්ටුව ; බිම් මහල.

යට රේගලය

(පාරිභා.) නා. පනේල රාමු කොටසක්.

යට වගාව

නා. (උද්භි.) ලොකු ගස් යට වැවෙන කුඩා පඳුරු ආදිය.

යටග

[යට + අග]
නා. රිටි කෙළවර ; යෂ්ටියෙහි මුදුන.

යටගිය

වි. පූර්වයෙහි වූ ; අතීතයෙහි වූ ; පෙර සිදු වූ.

යටගිය දවස

නා. අතීත කාලය ; පෙර ; ගත වූ කාලය.

යටගියාව

නා. වර්තමානයෙන් වැසී ඇති අතීතය ; පුරාණය ; ඉතිහාසය.

යටගුළ

නා. කොටුවෙහි හෝ අටුවෙහි යට ; පහළින් ඇති බෙනයකට සමාන කොටස.

යටත්

වි. අවනත ; කීකරු ; සුවච ; (යමකුගේ) බලය පිළිගත්.

යටත් පහත්

වි. අතිශයින් කීකරු ; භය පක්ෂපාතී.

යටත් පිරිසෙයින්

ක්‍රි.වි. අවම වසයෙන් ; අඩු ම වසයෙන්.

යටත් විජිතය

නා. යම් ප්‍රධාන රාජ්‍යයක් අධිරාජ්‍යයක් මඟින් යටත් කර ගත් ප්‍රදේශය හෝ රට.

යටත් විජිතවාදය

නා. රටවල් යටත් කොට පාලනය කිරීමේ න්‍යාය ; අධිරාජ්‍යයක් ගොඩ නැංවීමේ ව්‍යාපාරය ; යටත් විජිත ක්‍රමය.

යටතුරාව

නා. (ධීව.) 1. (රුවල් ඔරුවෙහි රුවලේ යට කොටස.
2. රුවලේ රෙද්ද ගැටගසා ඇති ලණුව.

යටතේ

1. ක්‍රි.වි. යටත් ව ; දෙවැනියක සේ ; අතවැසි ව.
2. අනුව.

යටපත් කරනවා

ක්‍රි. මතු නොවන ලෙස සලසනවා ; මැඩ පවත්වනවා.