සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1280

යටපත් භාෂාව

1. නා. ව්‍යවහාරයේ නොපවතින භාෂාව ; මළ භාෂාව.
2. (නව.) රටක පාලන තන්ත්‍රයේදී මුල් තැන නොගන්නා බස.

යටලීය

නා. ගෙයක වහලේ පරාල සවි කිරීමට බිත්තිය උඩ සවි කරන දික් ලීය ; යෂ්ටි දණ්ඩ.

යටස

[යට + අස]
නා. යට අංශය ; යට කොන.

යටි

1. වි. තිබෙන ; පහත ඇති ; පහත පිහිටි.
2. යටවූ ; යටට ගිය ; යටින් තිබෙන.
නා.ප්‍ර. යටිය බ.

යටි අත් යැවුම

(පාරිභා.) නා. බෝලයෙන් කරන ක්‍රීඩාවල දී බෝලය තවත් ක්‍රීඩකයකු වෙත අත යටින් යැවීම.

යටි ඇන්ද

නා. මුඛයෙහි යට දත් පෙළ ; මුඛයේ පහළ හනුවේ දත් පේළිය.

යටි උගුල

නා. යමකුට කරදරයක් කිරීම සඳහා රහසිගත ව කරන උපාය සංවිධානය ; යටි සූත්තරය.

යටි කබල

(පාරිභා.) නා. 1. ඉබි, කැසුබු ආදී සතුන් ගේ කබලේ යටි කොටස.
2. ආප්ප ආදිය සෑදීම සඳහා පාවිච්චි කරන භාජන දෙකින් යට භාජනය.

යටි කූට්ටු

වි. රහසේ සිදු කරන ; සැඟවී කරන ; කුමන්ත්‍රණකාරී.

යටි දහර පෝරණුව

(පාරිභා.) නා. කාර්මික වැඩ සඳහා උපයෝගී කරගන්නා පෝරණු වර්ගයක්.

යටි දැළිය

නා. යට රැවුල.

යටි නැම්ම

නා. සම්පීඩන චලනවල ප්‍රතිඵලයක් වසයෙන් භූ පෘෂ්ඨය නැමීම නිසා සෑදෙන භූ රූපයක් ; අවපාත රැලිය.

යටි නැමි මඩුල්ල

(පාරිභා.) නා. අධික ලෙස රැලි වැටුණු පාෂාණ තට්ටු මණ්ඩලයක් ; සංකීර්ණ යටි රැලියක ස්වභාවයකින් යුක්ත රූපයක්.

යටි නිම්න හුළඟ

නා. දිවා කල්හි උස් කඳු බෑවුම් උණුසුම් වී ඒ අවට වාතය ඉහළට නැඟුණු කල්හි පහත නිම්නවල සිට ඒ උස් බෑවුම් කරා නඟින වාතය නිසා ඇති වන හුළඟ.

යටි පතුල

නා. පාදයෙහි යටි පැත්ත.

යටි පාෂාණ

නා.ප්‍ර. පොළොව යටින් ඇති ඝන වූ පස් තට්ටුව.

යටි පිටු යතුර

නා. (පරිග.) පරිගණකයක පිටු කීපයක ලේඛනයක දී සක්‍රිය පිටුවට පහළින් පිහිටා ඇති හෙවත් ඊළඟ පිටුවට පහසුවෙන් යා හැකි කර්සර් යතුර.

යටි බාහුව

නා. අතේ වැලමිටටත් මැණික්කටුවටත් කොටස ; අග්‍ර බාහුව.

යටි මහල

නා. තට්ටු සහිත ගොඩනැගිල්ලක පහළ තට්ටුව ; බිම්මහල.

යටිඇලපේශිය

(පාරිභා.) නා. අක්ෂිගෝලයට සම්බන්ධ වූ පේශියක්.

යටිකුරු

1. වි. යට පැත්තට හැරුණු ; කට පහළට හැරුණු.
2. (පාරිභා.) ඩිම්බ වෘත්තිය සම්බන්ධ වන තැන අසලට අනුද්වාරය ප්‍රවේශ වන සේ ඩිම්බය නැඹුරු ව සිටින.

යටිකුරු චල්‍යතාව

නා. සමාජ ස්තරායන හිණිමගෙහි ඉහළ නැගීමේ හෝ පහළ බැසීමේ හෝ ක්‍රියාවලියෙහි ඉහළ තලයක සිට පහළ තලයකට බැසීම හඳුන්වන නාමය.

යටිකුරු ටී බද්ධය

(පාරිභා.) නා. අතුරිකිලි ආදිය බද්ධ කිරීමේ විශේෂ ක්‍රමයක්.

යටිකුරු දෘෂ්ටි විතානය

(පාරිභා.) යටි අතට මාරු වී සිදු වන ස්ථාන මාරුව.