සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1278

යක්ඛාධිප

නා.ප්‍ර. යකුන්ගේ ප්‍රධානයා ; යක්ෂ රාජ ; වෙසමුණි ; වෛශ්‍රවණ හෙවත් කුවේර සඳහා ව්‍යවහාර යි.

යක්දරයා

නා. යකකු ආවේශ වූ තැනැත්තා ; යක්ෂාවේශයා.

යක්දෙස්සා

නා. යක්තොවිල් කරන්නා ; යකැදුරා.

යක්ෂ

1. වි. යක්ෂයින් හා සම්බන්ධ.
2. ක්‍රෑර ; නපුරු.
3. දක්ෂ ; හපන්.
1. නා.ප්‍ර. මනුෂ්‍යයින්ට උපද්‍රව කරන බලගතු අමනුෂ්‍ය විශේෂයක්.
2. අර්ධ දිව්‍යමය බලයක් ඇති අමනුෂ්‍ය කොටසක්.
3. විජයාගමනයට පෙර විසූහයි සැලකෙන ජන ගෝත්‍රයක්.

යක්ෂ ඇලියාව

නා. යක්ෂ උපද්‍රව නිසා ඇතිවන බඩේ අජීර්ණය.

යක්ෂ බලිය

1. නා. යකුන් වෙනුවෙන් පවත්වන අභිචාර විධියක්.
2. අභිචාර කටයුත්තක් සඳහා විශේෂයෙන් මැටියෙන් අඹනු ලබන රූකඩ.

යක්ෂ භූමිකා

නා.ප්‍ර. කෝලම් රංගනයේදී යක්ෂයන් හා භූතයන් ඇතුළත් ශාන්ති කර්මයක ඒ චරිත රඟ දැක්වෙන විලාසය හඳුන්වන නාමය.

යක්ෂධූප

නා.ප්‍ර. දුම්මල.

යක්ෂප්‍රලය

නා.ප්‍ර. යක්ෂ දමනය ; යකුන්ගේ බලය දුරු කිරීම.

යක්ෂභූත විද්‍යාව

නා.ප්‍ර. යක්ෂයන් පිළිබඳ ව හා ඔවුන්ගෙන් වන උවදුරුවලින් මිදීම පිළිබඳ ව උගන්වන විද්‍යාව.

යක්ෂාධිපති

නා.ප්‍ර. යක්ෂයින්ට අධිපති වූ දෙවියා ; වෛශ්‍රවණ ; කුවේර.

යක්ෂාධිෂ්ඨිත

[යක්ෂ + අධිෂ්ඨිත]
වි. යක්ෂයන්ට වාසස්ථාන වූ ; යක්ෂයන් සිටියා වූ.

යක්ෂාවර්තය

[යක්ෂ + ආවර්තය]
නා. යකුන් විසින් ඇති කළ අද්භූත ස්වභාවය.

යක්ෂාවේශය

1. නා. යකකු ආරූඪවීම.
2. යක්ෂයකු මෙන් කෝපාවිෂ්ට වීම ; බලවත් කෝපයෙන් නොදැමුණු අයුරින් හැසිරීම.

යක්ෂෝපද්‍රව

[යක්ෂ + උපද්‍රව]
නා.ප්‍ර. යකුන්ගෙන් වන උවදුරු ; යක්ෂයින්ගේ බැල්මෙන් මිනිසුන්ට ඇතිවෙතැයි විශ්වාස කරන ලෙඩදුක් කරදර ආදිය.

යකා

1. නා. භය උපදවන ශරීර ඇති දරුණු ගති ඇති අමනුෂ්‍යයා ; යක්ෂයා.
2. නපුරු මිනිසා.
3. (කථා.) පුද්ගලයා.
4. (කථා.) පුදුම එළවන ලෙස කටයුතු කරන තැනැත්තා.

යකා වැහෙනවා

(කථා.) ක්‍රි. 1. යක්ෂාරූඪ වෙනවා ; යක්ෂ ආත්මයක් ආරූඪ වෙනවා.
2. (රූඪි.) බලවත් කෝපයට පත් වෙනවා ; උරණ වෙනවා.

යකාරය

නා. ය- යන අක්ෂරය ; ය යන්න.

යකිනි

නා. යක්ෂ ස්ත්‍රිය ; යක්ෂණිය.

යකිල

නා.ප්‍ර. යකඩින් සෑදූ උල් කණුව.

යකුළ

නා. යකඩින් සෑදූ කුළු ගෙඩිය; ඉතා බර යකඩ මිටිය.

යකෘතය

නා. අක්මාව.

යකෘත්

වි. අක්මාව හා සම්බන්ධ.

යකෘත්දාහය

(පාරිභා.) නා. අක්මාව ඉදිමීම නිසා ඇති වන රෝගය ; යකෘතයේ ප්‍රදාහය.