සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1283

යතුරු පුවරුව

නා. යතුරුලියන, පියානා වැනි උපකරණ ඇඟිලි තුඩු එබීමෙන් ක්‍රියාත්මක කිරීමට පහසු වන පරිදි එක ළඟින් සවි කරන ලද අවයව සහිත ඵලකය.

යතුරු බෝය

නා. (කමත්.) වී පොළන කුල්ල.

යතුරු මුදුව

නා. යතුරක් හෝ යතුරු කීපයක් හෝ දමා ගන්නා වළල්ල ; පළු මුද්ද.

යතුරු මූට්ටුව

නා. දැව පුවරු දෙකක් එකට සවි කරන ක්‍රමය ; ගිරි මූට්ටුව.

යතුරු මෝවිට

නා. යතුරු ගැට්ට ; යතුරු මුවවිට.

යතුරු සක

නා. මැටි කර්මාන්තය සඳහා උපයෝගී කරගනු ලබන කුඹල් සක් වෙසෙසක් ; තෙල්වලින් ක්‍රියා කරවිය හැකි යාන්ත්‍රික චක්‍රය.

යතුරු සැරි

නා.ප්‍ර. රියැදුරා ; රථාචාර්යයා.

යතුරුගත්

වි. පිටත්ව ගිය ; ගමන් කළ ; ප්‍රයාණය කළ.

යතුරුමග

1. නා. ගමන් මඟ.
2. දොරේ යතුර බහාලන සිදුර.

යතුරුලනවා

ක්‍රි. දොර කවුළු ආදියෙහි පියන් වසා අගුලු දමනවා ; යතුරු දමනවා.

යථා

නි. යම් සේ ; යම්කිසි ආකාරයකින් ; යම් පරිද්දකින්.
වි. නිසි ; නියම ; සුදුසු ; යෝග්‍ය.

යථා ක්‍රමය

නා. සුදුසු පිළිවෙළ ; අනුරූප විධිය.

යථා ක්‍රමයෙන්

ක්‍රි.වි. පිළිවෙළින් ; ක්‍රමානුකූලව ; පිළිවෙළ අත්නොහැර.

යථා කාලය

නා. සුදුසු කාලය ; සිදුවිය යුතු අවස්ථාව ; නියම වේලාව.

යථා ගුණය

(පාරිභා.) නා. වර්ණ දේහ සංඛ්‍යාව ඒකගුණ සංඛ්‍යාවේ ඒක ගුණාකාරයක් වීම.

යථා තථා

ක්‍රි.වි. යම්කිසි පරිද්දෙන් ; එපරිද්දෙන්.

යථා දර්ශනය

නා. ඇති සැටිය දැකීම; නියම තත්ත්වය තේරුම් ගැනීම.

යථා දර්ශය

නා. විපර්යාලෝකය ; දුරස්බව ආදිය චිත්‍රයෙහි නිරූපිත ව පෙනීම.

යථා දිනය

(පාරිභා.) නා. නියමිත දිනය ; අනුකූල දවස ; සම්මත දිනය.

යථා ධර්මය

නා. නියමානුකූල ස්වභාවය ; සම්මත ධර්මය.

යථා නික්ෂිප්ත

වි. යම් ලෙසකින් තබන ලද ; යම් ආකාරයකට බහා තැබූ.

යථා බලයෙන්

ක්‍රි.වි. බලයට අනුව ; ශක්ති පමණින් ; හැකි පමණින්.

යථා ශක්තිය

නා. ශක්ති ඇති පමණ ; ශක්ති ප්‍රමාණය.

යථා සංඛ්‍යයෙන්

ක්‍රි.වි. පිළිවෙළින් ; පිළිවෙළ අනුව.